දහස් ගණනක් එල්ලා මැරූ බන්ධනාගාරයක්

Image copyright AMNESTY INTERNATIONAL/FORENSIC ARCHITECTURE
Image caption 'සයිඩ්නයා' නමැති මෙම සිරමැදිරිය රැඳවියන් අතර ප්‍රකටව ඇත්තේ 'ඝාතකාගාරය' නමිනි

සිරියානු හමුදා බන්ධනාගාරයක සිටි රැඳවියන්ගෙන් දහතුන් දහසක් පමණ පසුගිය අවුරුදු පහ ඇතුළත එල්ලා මරා දමා ඇති බව මානව හිමිකම් සඳහා වන ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය පවසයි.

දමස්කස් නුවරට නුදුරින් පිහිටි 'සඩ්නාය' නමැති මෙම සිරමැදිරිය රැඳවියන් අතර ප්‍රකටව ඇත්තේ 'ඝාතකාගාරය' නමිනි.

මෙහිදී මරා දමා ඇති පිරිසෙන් අතිබහුතරය සාමාන්‍ය ජනතාව බවත් ඒ අතර සිරියානු රජයට විරෝධය පෑ මානව හිමිකම් ක්‍රියාධරයන් ද සිටින බවත් ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය නිකුත්කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

Image copyright AMNESTY INTERNATIONAL
Image caption ඕමාර් අල් ශෝග්රේ, 'සඩ්නාය'හි රැඳවුම් භාරයට පත්වීමට පෙර සහ නිදහස්වීමෙන් පසු

විනාඩියක් හෝ දෙකක්

එහි තවදුරටත් සඳහන් වන්නේ 2011 සිට 2015 දක්වා සෑම සතියකම රැඳවියන් පනස්දෙනෙකු පමණ සමූහ වශයෙන් එල්ලා මරා දමා ඇති බවය.

මෙම රැඳවියන්ට මරණ දඬුවම පැනවීම සඳහා කිසිදු නඩු විභාගයක් පවත්වා නොමැති බවත් ඇතැම් රැඳවියන් පිළිබඳව ප්‍රශ්නකිරීම් විනාඩියක් හෝ දෙකක් ඇතුළත නිමකර ඇති බවත් මෙම වාර්තාවේ ප්‍රධාන කතුවරයා වන නිකොලිට් වොල්ඩ්මන් බීබීසීයට පැවසීය.

කෙසේනමුත් දේශපාලන විරුද්ධවාදීන්ට වධ හිංසා පමුණුවන බවට එල්ලවෙන චෝදනා සිරියානු රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.