මහඇමති පොරයත් සමඟ තමිල්නාඩුවේ බලරික්තයක්

Image copyright BBC Tamil
Image caption ඕ.පනීර් සෙල්වම් ප්‍රාන්ත ආණ්ඩුකරු ඉදිරියේ

තමිල්නාඩු දේශපාලනය තුළ මේවනවිට විශාල අර්බුදයක් මතුව ඇති අතර, අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්ෂයේ (ADMK) මහලේකම් සසිකලා නටරාජන් විසින් පක්‍ෂයේ සභාපති මදු සූදනන්,පදවියෙන් ඉවත් කරනු ලැබීමත් සමග අර්බුදය තවත් බරපතළ අතට හැරී ඇත.

හිටපු මහා ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසුව, තමිල්නාඩු ප්‍රාන්තයේ මීළඟ මහ ඇමතිවරයා පත්කරනු ලැබීම සහ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්‍ෂයේ නව නායකත්වය තෝරා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ ගැට‍ළු පක්ෂය දෙකඩ වීමට හේතු විය.

තමිල්නාඩු ජනතාව විසින් "අම්මා" ලෙස හඳුන්වන ලද හිටපු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ හදිසියේ රෝගාතුරවූයෙන් රෝහල් ගත කෙරුණ අතර මාස දෙකක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය දෙසැම්බර් මාසයේ අභාවප්‍රාප්ත වූවාය.

ජයලලිතාගේ අභාවයෙන් පසුව තමිල්නාඩුවේ මහා ඇමතිවරයා ලෙස පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් වන ඕ. පනීර්සෙල්වම් පත් කෙරුණු අතර, දශක තුනකට ආසන්න කාලයක් ජයලලිතාගේ විශ්වසනීය මිතුරිය වූ සසිකලා පක්ෂයේ මහ ලේකම් පදවියට පත් කෙරුණි.

Image copyright BBC Tamil
Image caption හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම් සමග සසිකලා; අම්මා සහ සින්නම්මා

මේ අතර පසුගිය පස්වෙනිදා ප්‍රාන්ත ආණ්ඩුකරු හමුවූ මහා ඇමති ඕ.පනීර් සෙල්වම් සිය පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකරුට භාරදුන්නේය.

ඒ සමග නිවේදනයක් නිකුත් කළ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම් පක්‍ෂය, වත්මන් මහලේකම් සසිකලා නටරාජන් එම ධුරයට පත්කිරීමට යෝජනා කරන බව ප්‍රකාශයට පත්කරන ලදී.

එවැනි පසුබිමක් තුළ මහඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ ඕ. පනීර්සෙල්වම්, පසුගිය අඟහරුවාදා ජයලලිතා ජයරාම්ගේ සොහොන්කොත අබියස විනාඩි හතළිහක පමණ කාලයක් භාවනාවේ යෙදී සිටීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් 'ජයලලිතාගේ කැමැත්ත අනුව තමන් මහ ඇමතිධුරය භාරගත් නමුත් ඉන් ඉල්ලා අස්වීමට බල කෙරුණ බව' ප්‍රකාශ කළේය.

Image copyright BBC Tamil
Image caption ජයලලිතාගේ සොහොන්කොත අබියස භාවනාවේ යෙදී සිටින පනීර් සෙල්වම්

කෙසේ නමුත්, ජනතාව ඉල්ලා සිටින්නේනම් 'නැවත මහ ඇමති පදවිය භාර ගැනීමට තමා සූදානම්' බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ නමුත් තමිල්නාඩුවේ ප්‍රධාන විපක්ෂය වන එම්.කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නේත්‍ර කලගම්(DMK) පක්‍ෂයේ උපදෙස් පරිදි සිය පක්ෂය විනාශ කිරීමේ උත්සාහයක නිරත වෙන බවට සසිකලා නටරාජන් ඉල්ලා අස්වූ මහඇමති පනීර් සෙල්වම්ට චෝදනා කරයි.

සසිකලා සිය ප්‍රතිවාදී පනීර් සෙල්වම්ට සහයෝගය පළකරන මැති ඇමතිවරුන් පක්ෂයෙන් ඉවත් කරමින් සිටින බවක් ද වාර්තා වෙයි.

Image copyright BBC Tamil
Image caption පනීර් සෙල්වම් සිය ආධාරකරුවන් සමග

පනීර් සෙල්වම්ගේ ආධාරකරුවකු වන ADMK සභාපති මදු සූදනන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරන ලද්දේ එහි එක් පියවරක් ලෙස යයි දේශපාලන විචාරකයෝ පවසති.

තමිල්නාඩුවේ මහ ඇමති පුටුව අත්පත්කර ගැනීම සඳහා ඕ.පනීර්සෙල්වම් සහ සසිකලා අතර දැනට පවතින තරඟයේ දී නව මහඇමතිවරයා පත් කිරීමේ අවසන් තීරණය පක්ෂයේ සාමාජිකයන් අත රඳා පවතී.