බැග්ඩෑඩ් අගනුවර ගැටුම්

Image caption උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්

ඉරාකයේ ඉතා බලවත් ෂියා ඉස්ලාමීය පූජකයකු වන මුක්ටාඩා අල් සදර් ගේ අනුගාමිකයන් සහ ආරක්ෂක හමුදා අතර ගැටුමකින් පස්දෙනකුවත් මරණයට පත්විය.

බැග්ඩෑඩ් අගනුවර පැවති දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ දී ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරියකු ද ඝාතනය කෙරුණු අතර තවත් කීප දෙනෙකු තුවාල ලද බවක් ද කලින් ලද වාර්තාවලින් ප්‍රකාශ කෙරුණි.

උද්ඝෝෂකයන් පාලමක් ඔස්සේ යමින් ඉරාක් ආණ්ඩුවේ අමාත්‍යවරුන් පදිංචි 'හරිත කලාපය' යනුවෙන් නම්කොට ඇති අධිආරක්ෂිත කලාපයකට ගමන් ගනිමින් සිටියදී ආරක්ෂක නිලධාරීන් ඔවුන් පළවා හැරීමට උත්සාහය කිරීමත් සමග ගැටුම් ආරම්භ වී ඇත.

Image caption ජනතාව දසදහස් ගණනින් වීදියේ

ඉරාක් ජාතික කොඩිය ලෙළවමින් ආණ්ඩුවේ දූෂණවලට එරෙහිව හඬ නගමින් සිටි දහස් ගණනක් ජනතාව ඉල්ලා සිටියේ මැතිවරණ අධීක්ෂණය කරන කොමිසමේ වෙනස්කම් සිදුකරන ලෙසයි.

ආරක්ෂක අංශ කඳුළු ගෑස් ගසමින් වෙඩි තබන හඬ ඇසුණ බව ප්‍රදේශයේ ජනතාව පවසති.