ශ්‍රීලනිපය ජනමත විචාරණයකට සූදානම්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ Image copyright SLFP

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙන්ම 'ව්‍යවස්ථා සංශෝධනයක්' ද ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන නමුත් එය ක්‍රියාවට නැගිය යුත්තේ පවත්නා දේශපාලන වාතාවරණයට අනුකූලව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ඒ බව කියා සිටියේ බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

අනිවාර්යයෙන්ම නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන අතර ඒ සඳහා ජනමත විචාරණයකට මුහුණදීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර සහ ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරු පසුගියදා සඳහන් කළහ.

පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දුන් ප්‍රකාර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කැප වී සිටින බව අමාත්‍ය දුමින්ද දිසානායක බීබීසී සිංහල සේවයට පැවසීය.

Image copyright Duminda Disanayaka/ FB

කෙසේ නමුත් විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කළ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, "පාර්ලිමේන්තුවෙන් කරන්න පුළුවන් දේ කරන්න පුලුවන් නම් අපිට කිසිම ගැටලුවක් නැතිව සංශෝධනය කරන්න පුළුවන්කම තිබෙන," බව පැවසීය.

විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයක් වැනි "කාරණා රාශියක්" සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාම ඉතා සංකීර්ණ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයෙන් "ව්‍යවස්ථා සංශෝධනය" ක්‍රියාවට නැගීමට උත්සාහ දැරීම සිය පක්ෂයේ උත්සාහය බවත් සඳහන් කළේය.

"සමහර වෙලාවට අපි නමයක් කාරණාවලට කැමතිවෙලා එක කාරණයකට නොකමැතිවීමත් එක්ක ජනතාව ඒකට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තියෙනව," ඔහු පැවසීය. (සාකච්ඡාවට සවන්දෙන්න)

"ඒ නිසා තමයි අපි උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් මේ ව්‍යවස්ථා සංශෝධන කරන්න."

ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ "ව්‍යවස්ථා සංශෝධනයක්ද" නොඑසේනම් "නව ව්‍යවස්ථාවක්ද" යන්න "වචන හරඹයක් පමණක්" බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාගේ අදහසයි.