කුණු
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මීතොටමුල්ලට කුණු එපා: ඉවසන්නේ සති දෙකයි"

කොළොන්නාව ජනතාවට විශාල පීඩාවක් වී තිබෙන මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කර කොළඹ නගරයට එක්රැස්වන කුණු ජාඇල ඒකල ඔතේකැලේ ප‍්‍රදේශයට බැහැර කිරීමට රජය ගෙන ඇති තීරණය වහා ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්එම් මරික්කාර් ඉල්ලා සිටියි.

ලබන මාසයේ සිට මිතොටමුල්ලට කුණු බැහැර කිරීමට ඉඩ නොදෙන බවට ප්‍රදේශයේ ජනතාව තීරණය කර ඇති බවත් කොළොන්නාව ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍රජා නායකයන් සමග එක්ව මාධ්‍ය හමුවක් ඇමතූ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

"ලබන මාසෙන් පස්සේ කොළොන්නාවට කුණු ගේන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි දැන් ඉවසුවා ඇති. ඉවසලා ඉවසලා දැන් රතු කට්ට පැනලා තියෙන්නේ," ඔහු පැවසීය.

"රතු කට්ට පැනලා"

ජාඇල ඒකල ප්‍රදේශයට තාවකාලිකව කුණු බැහැර කිරීමේ තීරණය සියළු පරිසර බලපත්‍රව සහිතව සිදුකිරීමට තීරණය කර ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඇතැමුන් එය නොදැන ඒ සඳහා විරෝධතා පවත්වන බවයි සඳහන් කළේ.

ඒ අතර ඒකල ප්‍රදේශයට කුණු බැහැර කිරීමේ තීරණයට එම ප්‍රදේශයේ ජනතාව දැඩි විරෝධය පළකරති. එයට එරෙහිව ප්‍රදේශවාසීන් පසුගිය සතියේ මාර්ග අවහිර කරමින් විරෝධතාවක් දියත්කළ අතර, නියෝජ්‍ය ආමාත්‍ය රන්ජන් රාමනායක එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට ප්‍රතිඥාදීමෙන් අනතුරුව ඔවුහු විසිර ගියහ.

'ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙලක් නැහැ'

කුණු ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙක් පිළිබඳව වසර ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා පැවැත්වෙන නමුත් එය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි බීබීසීය කළ විමසීමට පිළිතුරු දුන් මරික්කාර් මන්ත්‍රීවරයා, එවැනි වැඩපිළිවෙලක් තවමත් ක්‍රියාත්මක වන ආකරයක් දක්නට නොලැබෙන බව සඳහන් කළේය.

'ජාතික ව්‍යසනයක්වන' කුණු ගැටළුවට ජාතික ප්‍රතිපත්තියක් ඇතිකර කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.