ඇමරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Image copyright AFP
Image caption යුරෝපා නේටෝ රටවල හිතවාදී රටක් ලෙස කටයුතු කිරීමට ඇමරිකාව නොවෙනස්ව ක්‍රියාකරන බව මයික් පෙන්ස් පැවසීය

ක්‍රිමියාව යාකරගැනීම සහ නැගෙනහිර යුක්රේනය තුළ සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් රුසියාව වගකීම භාරගතයුතු බව ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජර්මනියේ මියුනිච් නගරයේ පැවති ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුවකදීය.

උප ජනාධිපති පදවියට පත්වීමෙන් පසු විදේශයකදී පවත්වන ප්‍රථම දේශනයේදී මයික් පෙන්ස් රුසියාවට අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ 2015 වසරේදී එකඟතාවයකට පැමිණි සාම සම්මුතියට ගරුකළයුතු බවය.

ඇමරිකාවේ නව පාලනය දෙරටටම එකඟ වියහැකි පොදු කරුණු පිලිබඳ සලකා බලන බවද එහිදී ඔහු අවධාරණය කළේය.

යුරෝපා නේටෝ රටවල හිතවාදී රටක් ලෙස කටයුතු කිරීමට ඇමරිකාව නොවෙනස්ව ක්‍රියාකරන බවට ආරක්ෂක සමුළු සාමාජිකයන් හමුවේ සහතිකවූ ඇමරිකානු උප ජනාධිපතිවරයා ආරක්ෂක කටයුතු සඳහා වූ වියදම් ඉහළ දැමීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

ඔහුට පෙර අදහස් දැක්වූ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් සමුළු සාමාජිකයන්ගෙන් ඉල්ලාසිටියේ සරණාගත ප්‍රශ්ණය, ගෝලීයකරණය සහ ඉස්ලාම්වාදී ත්‍රස්තවාදය වැනි ගැටළු විසඳීම සඳහා සහයෝගීතාවය ලබාදෙන ලෙසය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර