'රාජ්‍යතාන්ත්‍රිකයෝ' ජර්මනියේ දේශපාලන රැකවරණ පතති

President Erdogan is pursuing alleged opponents both in Turkey and abroad

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පසුගිය වසරේ ජුලි මාසයේ තුර්කියේ ජනාධිපතිවරයාට එරෙහිව දියත් වූ කුමන්ත්‍රණ උත්සාහයෙන් අනතුරුව රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමි තුර්කි ජාතිකයන් 136 දෙනකු සිය රටේ දේශපාලන රැකවරණ පතා තිබෙන බව ජර්මනිය පවසයි.

2016 අගෝස්තු මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා කාලය ඇතුලත ඔවුන් දේශපාලන රැකවරණ පතා තිබෙන බව ද ජර්මනියේ මාධ්‍ය වාර්තාවල දැක්වේ.

රාජ්‍යතාන්ත්‍රිකයන් පමණක් නොව ඔවුන්ගේ අඹු සැමියන් සහ දරුවන්ට ද රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමිවේ.

කිසිදු හමුදා නිලධාරියකුට දේශපාලන රැකවරණ නොදෙන මෙන් තුර්කිය ජර්මනියෙන් ඉල්ලීමක් කර තිබේ.

ජර්මනියේ පිහිටි නේටෝ හමුදා කඳවුරුවල සේවය කරන ඇතැම් හමුදා නිලධාරීන් ද මේ රැකවරණ පැතුවන් අතර සිටින බව විශ්වාස කෙරේ.

මේ අතර තුර්කි හමුදා නිලධාරීන් දෙදෙනකු ග්‍රීසියේ දේශපාලන රැකවරණ පතා සිටියි.

කමාන්ඩෝ නිලධාරීන් දෙදෙනකු බව විශ්වාස කෙරෙන ඔවුන්, ජනාධිපති රෙජේප් තයීයප් අර්දොවාන් ට එරෙහි කුමන්ත්‍රණයට සෘජුවම සම්බන්ධවූවන් බව ද විශ්වාස කෙරේ.

කුමන්ත්‍රණ උත්සාහයෙන් අනතුරුව රටින් පළා ගිය තවත් තුර්කි සොල්දාදුවන් අට දෙනකු තමන්ට භාර දෙන මෙන් තුර්කිය කළ ඉල්ලීමක් පසුගිය සතියේ ග්‍රීසියේ අධිකරණයක් ප්‍රතික්ෂේප කළේය.

එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකරන බව තුර්කිය පවසයි.