සිරියානු සිනමාවේදියාට ඔස්කාර් වරම් නැහැ

ඔස්කාර්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඔස්කාර් සිනමා උළෙලට සහභාගීවීම විදේශීය භාෂාවන්ගෙන් නිෂ්පාදිත චිත්‍රපට සඳහා ලැබෙන මහගු අවස්ථාවක් ලෙස සැලකේ

ඔස්කාර් සම්මානයක් සඳහා නම් කෙරුණු සිනමා නිර්මාණයකට දායක වී ඇති සිරියානු සිනමාවේදියෙකුට ලොස්ඇන්ජලීස් නුවර පැවැත්වෙන සම්මාන උළෙලට සහභාගීවීම සඳහා යෑමට බාධා එල්ලවී තිබේ.

'ඇසෝසියේටඩ් ප්‍රෙස්' මාධ්‍ය ආයතනය පවසන පරිදි ඛාලිඩ් ඛටීබ් ඇමරිකානු වීසා ලබා සිටියෙකු වුවද ඇමරිකාව බලා ගමන් ගන්නා ගුවන් යානයට ඇතුල්වීමට ඔහුට අවසර දී නැත.

ඔහු 'රහසිගත චරිතයක්' ඇත්තෙකු බවට තොරතුරු ලැබී තිබුණු බව බලධාරීන් පවසන්නේ යැයි එම මාධ්‍ය ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි තවත් සිදුවීමක් පිළිබඳව මේ මස මුලදී පළවූ ඇමරිකානු මාධ්‍ය වාර්තාවකට අනුව ජැමෙයිකාවේ සංචාරය කොට පැමිණෙමින් සිටි නැසීගිය ලෝක බොක්සිං ශූර මොහොමඩ් අලිගේ පුත්‍රයෙකු ගුවන්තොටුපළකදී නවත්වා පැය දෙකකට අධික කාලයක් ප්‍රශ්න කර ඇත්තේ ඔහුගේ නම අරාබි නමකට සමාන වීම හේතුවෙනි.

එම සිදුවීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් හතක් සඳහා වීසා තහනමක් පැනවීම සමග ඍජු සබඳතාවක් ඇති බව මොහොමඩ් අලි පවුලේ නීතිඥ ක්‍රිස් මැන්සිනි ප්‍රකාශ කළේය.