දැවැන්ත රත්රන් කාසියක් සොරා ගනියි
ජර්මනියේ කෞතුකාගාරයක තිබූ එලිසබෙත් රැජිණ ගේ රුව සහිත ඩොලර් මිලියන 4 ක් වටිනා දැවැන්ත ප්‍රමාණයේ රත්රන් කාසියක් සොරකම් කර ඇති බව වාර්තාවේ.
"big maple leaf" නමින් හැඳින්වුණු කැරට් 24 පිරිසිදු රත්රන් වලින් නිමවා ඇති කිලෝග්‍රෑම් 100 ක් බරැති කාසියේ සඳහන් වටිනාකම ඩොලර් මිලියන එකකි.
එහෙත් වත්මන් රත්රන් මිල ගණන් අනුව කාසිය එයට වඩා ඉතා ඉහළ වටිනාකමකින් යුක්තවේ.
බර්ලින් නුවර බෝඩි කෞතුකාගාරයේ තිබියදී මෙය සොරා ගෙන ගොස් ඇත්තේ රාත්‍රී කාලයේදීය.
අනතුරු සංඥා ක්‍රියා විරහිත කොට මීටර් භාගයක් පමණ පළලින් යුතු හා විශාල බරකින් යුතු මේ කාසිය සොරුන් රැගෙන ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැත.
සඳුදා උදෑසන 03.30 ට පමණ සොරකම සිදුවූ බව විශ්වාස කෙරෙයි.
තනි පුද්ගලයෙකුට ඔසවාගෙන යා නොහැකි බරකින් යුතු මෙම රත්රන් කාසිය රැගෙන යාම සඳහා සොරුන් ජනේලයකින් ඇතුළුවී ඇති බව පොලීසිය පවසයි.
මේ අතර අසල වූ දුම්රිය මාර්ගයක තිබී ඉණිමගක් සොයාගෙන තිබේ.
"දැනට තිබෙන තොරතුරු අනුව සොර කණ්ඩායම කෞතුකාගාරයේ පසුපස දුම්රිය මාර්ගය සහිත පැත්තේ ජනේලයක් විවෘත කර ගැනීමට සමත්වී තිබෙනවා. ඉන් පසු ගොඩනැගිල්ලට ඇතුළුවී කාසිය ප්‍රදර්ශනය කර තිබූ කුටියට ඇතුල්වී ඇති බවයි පෙනී යන්නෙ," යනුවෙන් රොයිටර් පුවත්සේවයට කරුණු දැක්වූ පොලිස් ප්‍රකාශක වින්ෆ්රිඩ් වෙන්සෙල් පැවසීය.
ගොඩනැගිල්ලේ වෙඩි නොවදින වීදුරු ආවරණයක් තුළ තැන්පත්කර තිබූ කාසිය සොරාගෙන යාම පිළිබඳව ඊට වඩා තොරතුරු තමා සතුව නැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම කාසිය 2007 වසරේදී කැනඩාවේ රාජ්‍ය කාසි නිෂ්පාදනාගාරයේදී නිපදවූවකි.
සෙන්ටිමීටර 3ක් ඝණකමින් යුතු මෙම රත්රන් කාසියේ එක් මුහුණතක් කැනඩාවේ රාජ්‍ය නායිකාව වන බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ රුවක් සහිතව නිමවා ඇත.
අනෙක් මුහුණත මත මේපල් ශාකයේ පත්‍ර සහිත කැනඩාවේ ජාතික සංකේතය දැකිය හැකිවේ.
බෝඩි කෞතුකාගාරයේ මෙම කාසිය තබා තිබුණු කැබිනට්ටුව තුළ තවත් වටිනා වස්තු 540,000 ක් තිබුණු නමුත් සොරුන් "big maple leaf" කාසිය පමණක් සොරාගෙන ගොස් තිබුණි.