මගියා කළහකාරී ලෙස හැසිරුණා - United Airlines

The man who is believed to be a doctor is dragged out of his seat by flight security

ඡායාරූප මූලාශ්‍රය, Tyler bridges/Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය,

මගියා බලහත්කාරයෙන් යානයෙන් ඉවතට ඇදගෙන ගිය ආකාරය

සිය ගුවන්යානයකින් මගියකු බලහත්කාරයෙන් ඉවත්කළ අවස්ථාවේ යානයේ කාර්ය මණ්ඩලය "පිළිගත් ක්‍රමවේදය අනුගමණය කළ" බව United Airlines ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පවසයි.

යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමේ සේවකයන් වෙත පුද්ගලික ඊමේල් පණිවුඩයක් යවන ඔස්කාර් මුනෝස් පවසන්නේ "සිදු වූ දේ ඇසීමට සහ දැකීමට ලැබී තමන් අපහසුතාවකට පත් වූ" බවය.

සිදු වූ දේ පිළිබඳව "දැඩි කණගාටුවට පත්වන" නමුත් කාර්ය මණ්ඩලය විසින් යානයෙන් පිටතට ඇදගෙන ගිය මගියා "කඩාකප්පල්කාරී සහ කලහකාරී" ලෙසින් හැසිරී ඇති බවද ප්‍රධාන විධායක නිලධාරියා සිය ලිපියේ සඳහන් කරයි.

එබැවින් යානයේ කාර්ය මණ්ඩලය ගත් පියවරට සිය පූර්ණ සහාය හිමිවන බවත් ඔහු පවසයි.

අදාළ ඊමේල් පණිවුඩයේ පිටපතක් ඇමෙරිකානු ජනමාධ්‍යවලටද දැකගැනීමට ලැබී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, JAYSE D ANSPACH

ඡායාරූප ශීර්ෂ වැකිය,

මගියාගේ අනන්‍යතාවය හෙළි වී නැතත්, ඔහු චීන සම්භවයක් සහිත ඇමෙරිකානු වෛද්‍යවරයකු බව විශ්වාස කෙරේ

යානයේ අසුනක අසුන්ගෙන සිටි මගියකු බලහත්කාරයෙන් අසුනෙන් නැගිටවා ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරීමෙන් අනතුරුව ගුවන් සමාගමට එරෙහිව දැඩි විරෝධයක් මතුවෙමින් පවතී.

චිකාගෝ නුවර සිට ලුයිස්විල් දක්වා ගුවන්ගත් යානයේ නියමිත ආසන ප්‍රමාණයට වඩා ගුවන් ටිකට්පත් නිකුත්කර තිබුණි.

එබැවින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සිවුදෙනකුට ආසන ලබාදීම පිණිස මගීන් සිවු දෙනකු ඉවත්කිරීමට ගුවන් සේවයට අවශ්‍ය විය.

ඒ අවස්ථාවේ අදාළ මගියා ස්වේච්ඡාවෙන් යානයෙන් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ බැවින් ආරක්ෂක නිලධාරීන් කැඳවා ඔහු ඉවත්කිරීමට කාර්ය මණ්ඩලයට සිදු වූ බවද ප්‍රධාන විධායක නිලධාරියා සිය ලිපියේ සඳහන් කර තිබේ.

බලහත්කාරයෙන් යානයෙන් ඉවතට ඇදගෙන යනු ලැබූ මගියාගේ අනන්‍යතාවය හෙළි වී නැතත්, ඔහු චීන සම්භවයක් සහිත ඇමෙරිකානු වෛද්‍යවරයකු බව විශ්වාස කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී ඔස්කාර් මුනෝස්ගේ ප්‍රතිචාරය දැඩි විවේචනයට ලක්වෙමින් පවතී

සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරී ඔස්කාර් මුනෝස්ගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

වෙළඳ කටයුතු සම්බන්ධ PRWeek සඟරාව විසින් ඔස්කාර් මුනෝස් වසරේ හොඳම සන්නිවේදකයා ලෙස නම්කරනු ලැබුවේ පසුගිය සතියේදීය.

එහෙත් මේ සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රතිචාරය ට්විටර් ජාලය ඔස්සේ බොහෝ දෙනාගේ හාස්‍යයට සහ විවේචනයට ලක්වෙමින් තිබේ.