ස්ටෝක්හෝම් ප්‍රහාරය: සැකකරුගෙන් පාපොච්චාරණයක්

ස්ටෝක්හෝම් ට්‍රක් රථ ප්‍රහාරය: සැක කරුගෙන් පාපොච්චාරණයක්

ඡායාරූප මූලාශ්‍රය, SWEDISH POLICE

ස්වීඩනයේ ස්ටෝක්හෝම් ට්‍රක් රථ ප්‍රහාරය තමන් විසින් සිදු කරන ලදැයි සැකකරු පාපොච්චාරණය කළ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයට ප්‍රකාශ කළේය.

එම 'ත්‍රස්ත ප්‍රහාරය' සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තිස් නම හැවිරිදි උස්බෙකිස්තාන් ජාතික රඛ්මත් අකිලොව්, තමන් විසින් එම පාපොච්චාරණය සිදු කරනු ලැබූ බව අධිකරණය ඉදිරියේ පිළිගත්තේය.

නඩු විභාගයෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

පැහැරගනු ලැබූ ට්‍රක් රථයක් පසුගිය අප්‍රේල් 07 වෙනිදා ස්ටොක්හෝම් නගරයේ වෙළඳ සංකීර්ණයක් තුළට ධාවනය කිරීම හේතුවෙන් පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් තවත් පහළොස් දෙනෙකුට තුවාල සිදුවිය.

ප්‍රශ්නකිරීම්වල දී සැකකරු ඉස්ලාම් රාජ්‍ය සංවිධානය සම්බන්ධයෙන් සානුකම්පිත අදහස් පළකළ බව ස්වීඩනයේ පොලිසිය පවසයි.

මාධ්‍ය හමුවක් ඇමතූ ස්වීඩන පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ සැකකරු ස්වීඩන පුරවැසිභාවය සඳහා ඉල්ලුම්කොට අසාර්ථක වූවෙක් බවය.