ඩයනා කුමරිය ගැන විසි වසරක් අමතක කළා - හැරී කුමරු

Prince Harry was 12 when his mother died. He is seen here with Princess Diana and Prince William in 1991

ඡායාරූප මූලාශ්‍රය, PA

සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව "කිසිවක් නොසිතා සිටීමට" දැරූ උත්සාහය ව්‍යවර්ථ වූ කළ මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසයි.

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව අනාවරණය කළ ඩයනා කුමරියගේ බාල පුතුවන හැරී කුමරු, විසි වැනි වියේ අගභාගයට පමණ එළැඹෙන තුරුම ඒ වේදනාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් සඳහන් කළේය.

ඒ අතරවාරයේ තමන් වසර දෙකක් "තනිකරම අවුලක්" වූ බව පවසන ඔහු, එක් අවස්තාවක "සම්පූර්ණ මානසික බිඳවැටීමක" ආසන්නයටම පැමිණි බවත් විස්තර කර තිබේ.

එහෙත් උපදේශන සේවාවල පිහිට පැතීමෙන් අනතුරුව සිය මානසික කඩාවැටීම යථා තත්වයට පත් වූ බවත් 32 හැවිරිදි හැරී කුමරු සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, PA

හැරී කුමරු පවසන පරිදි ඔහුගේ ආවේගය පිටකිරීමට අවස්ථාව සලසා දුන් බොක්සිං ක්‍රීඩාවද ඔහු "බේරාගෙන" තිබේ.

මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව බ්‍රිතාන්‍යය වැනි සමාජයක පවා පවතින පසුගාමී ආකල්ප බිද දැමීමේ අරමුණින් තමන් මුහුණදුන් මානසික ගැටළු පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට ඔහු තීරණය කරන ලද බව ටෙලිග්‍රාෆ් පුවත්පත පවසයි.

සිය සොහොයුරු විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳවන කේට් කුමරිය සමග එක්ව ඔහු Heads Together මානසික සෞඛ්‍යය පිළිබඳ පුණ්‍යායතනයට ආධාර කරයි.

වේල්සයේ කුමරිය, ඩයනා, 1997 අගෝස්තු මාසයේ රිය අනතුරකින් මරුමුවට පත්විය.

"අවුරුදු 12 දි මගේ අම්ම නැතිවෙලා, ඊට පස්සේ ගතවුණු අවුරුදු 20 පුරාම මගේ වේදනාව හංගගෙන හිටපු එකෙන් මගේ පුද්ගලික ජීවිතේට විතරක් නෙමේ මගේ පොදු වැඩවලටත් ලොකු බලපෑමක් වුනා කියල මට පැහැදිලිවම කියන්න පුළුවන්," හැරී කුමරු පැවසීය.

"මගේ ක්‍රමය වුනේ ඔලුව වැල්ලේ හංගා ගැනීම. අම්ම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව ඉන්න එක. මොකද මම හිතුවේ, 'ඒක මට උදවුවක් වෙන්නේ කොහොමද කියල."

ටෙලිග්‍රාෆ් පුවත්පතේ බ්‍රයනි ගෝඩන් සමග තවදුරටත් විවෘතව අදහස් දැක්වූ හැරී කුමරු: "මම හිතුවා අම්ම ගැන හිත හිත ඉන්න ගියොත් වෙන්නේ මම තව දුක් වෙන එක විතරයි කියල," යනුවෙන්ද පැවසීය.

එහෙත් තමන් සඟවාගෙන සිටි ඒ වේදනාව එක් මොහොතක එක්වරම මතුපිටට පැමිණි බව සඳහන් කළ ඔහු, සිය සොහොයුරු විලියම් කුමරුගේ උපදෙස් ප්‍රකාර මානසික උපදේශන සේවාවක පිහිට පැතීමට තමන් තීරණය කළ බවත් පැවසීය.

"මම කිහිපවතාවක්ම උපදේශන සේවාවලට ගියා. ඇත්තටම ඒක හරිම අපූරුයි."

වසර දෙකහමාරක් මුළුල්ලේ ලබාගත් උපදේශන සේවා ඇතුළු සමස්ත ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් තමන් යළිත් වරක් දෙපයින් නැගී සිටින බවද හැරී කුමරු වැඩිදුරටත් පැවසීය.