හොර සහතික සහිත රජයේ සේවකයන්ගේ වැඩ තහනම්

Image copyright XINHUA
Image caption "මේ මිනිස්සු ආණ්ඩුවේ තනතුරු දරන්නේ කිසිම සුදුසුකමක් නැතිව. අනෙක් අපරාධකරුවන් වගේම මේ අයත් අපව මංකොල්ලකනවා"

ව්‍යාජ අධ්‍යාපන සහතික දරන රජයේ සේවකයන් දහසකගේ පමණ වැඩ තහනම් කිරීමට ටැන්සානියාවේ ජනාධිපති ජෝන් මැගුෆුලි නියෝග කරයි.

ඔහු මෙම පියවර ගත්තේ කූට ලේඛන ඉදිරිපත් කරමින් වංචනික ලෙස රජයේ පත්වීම් ලබා ඇති පිරිස පිළිබඳව එරට ආණ්ඩුව විසින්ම වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව ය.

ටැන්සානියාවේ අධ්‍යාපන ඇමතිවරයා කියා සිටියේ ඇතැම් අය තම ඥාතීන්ගේ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති අතර ඇතැමුන්ගේ ලිපිගොනු තුළ කිසිදු අධ්‍යාපන සහතිකයක් දක්නට නොමැති බවය.

"මංකොල්ලකාරයෝ"

Image copyright AFP
Image caption ජනාධිපති ජෝන් මැගුෆුලි

ලැයිස්තුගතකර ඇති මෙම පිරිස මැයි මස 15වැනිදාට පෙර සිය තනතුරුවලින් ඉල්ලා අස්නොවන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති මැගුෆුලි පවසයි.

"මේ මිනිස්සු ආණ්ඩුවේ තනතුරු දරන්නේ කිසිම සුදුසුකමක් නැතිව. අනෙක් අපරාධකරුවන් වගේම මේ අයත් අපව මංකොල්ලකනවා. අලුත් රැකියා උත්පාදනය කරන්න අපි මහන්සි වෙමින් සිටින අතරේ හොර උපාධිකාරයන් ආණ්ඩුව ඇතුළේ ඉන්නවා." යනුවෙන් ජනාධිපති ජෝන් මැගුෆුලි ප්‍රකාශ කළේය.

ව්‍යාජ සහතික ඉදිරිපත්කර ඇති රජයේ සේවකයන්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙස ටැන්සානියාවේ ජනාධිපතිවරයා එරට පුවත්පත්වලින් ඉල්ලීමක් කර තිබේ.