ලන්ඩන් ගින්න: නගර සභාවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ හට ගත් ගින්නෙන් අනතුරුව නාගරික බලධාරීන් ක්‍රියාකළ ආකාරය විවේචනයට ලක්වෙමින් පවතිද්දී කෙන්සිංටන් චෙල්සි නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා අස්වෙයි.
තනතුරින් ඉවත්වන ලෙස පළාත් පාලන ලේකම්වරයා තමන්ගෙන් ඉල්ලා සිටි බව කෙන්සිංටන් නගර සභාවේ ප්‍රධාන විධායක නිකොලාස් හොල්ගේට් පැවසු නමුත් එය බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්ෂේප කළේය.
නිකොලාස් හොල්ගේට් තවදුරටත් කියා සිටියේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාස ගොඩනැගිල්ලේ ගින්නට හසුවී විශාල පිරිසක් මිය යාම "හද කම්පාකරවන" සිද්ධියක්වන අතර තමන් තවදුරටත් ධුරයේ රැඳී සිටියහොත් එය "බාධාවක්" විය හැකි බවය.
මූලික සහන සේවා කටයුතු "සම්පුර්ණයෙන් ම අවුල් ජාලයක්" ලෙස පැවතුණු බව පවසමින් දිවි බේරාගත් නිවැසියන් විසින් එය හෙළාදකිනු ලැබ තිබුණි.
2014 පටන් කෙන්සිංටන් නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ නිකොලාස් හොල්ගේට් ඊයේ (ජුනි 21) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගින්නෙන් විපතට පත් පවුල්වලට සහන සැපයීම සඳහා නගර සභාව "ඉහළම ප්‍රමුඛතාවය" ලබා දී තිබුණු බවය.
ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ හට ගත් ගින්නෙන් පුද්ගලයන් 79 දෙනෙකු මරණයට පත් වී හෝ අතුරුදහන් වී ඇතැයි විශ්වාස කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය කියා සිටියේ ඉදිරියේ දී එම සංඛ්‍යාවේ වෙනසක් සිදු වීමේ හැකියාවක් පවතින බවය.
කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි තට්ටු විසි හතරකින් යුත් ග්‍රෙන්ෆෙල් මහල් නිවාසය ගින්නට හසුවූයේ ජුනි 14 වෙනිදා ය.
ගින්නට හසුව මරණයට පත් ඇතමුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට අපොහොසත් විය හැකි බව පවසන ලන්ඩන් පොලිසිය ඒ සඳහා සති ගණනාවක් ගත වනු ඇති බව සඳහන් කරයි.