වඳව යන මුහුදු ඌරන් රැකීමට ඩොල්ෆින් මත්ස්‍යයෝ

Vaquita porpoises are rarely seen

ලොව වඳවී යාමේ වැඩිම තර්ජනයට මුහුණ දී සිටින මත්ස්‍යයන් විශේෂයක් ආරක්ෂා කරගැනීම පිණිස ඇමෙරිකානු නාවික හමුදාව විසින් විශේෂයෙන් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමට සැලසුම් කරන බව මෙක්සිකෝවේ ආණ්ඩුව පවසයි.

තර්ජනයට ලක් වී සිටින මුහුදු ඌරන් විශේෂය (vaquita porpoise) සිටින ස්ථාන සොයා මුහුදේ ආරක්‍ෂිත ස්ථාන වෙත ඔවුන් කැඳවා යාම පිණිස ඩොල්ෆින් මසුන් යොදාගන්නා බව මෙක්සිකෝවේ පරිසර කටයුතු භාර ඇමති රෆායෙල් පචියානෝ (Rafael Pacchiano) පැවසීය.

එම මුහුදු ඌරන් වඳවීමේ තර්ජනයට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන ධීවර දැල් භාවිත කිරීමත් මෙක්සිකෝව සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

අදාළ මුහුදු ඌරන් විශේෂයෙන් මේ වනවිට ලොව ඉතිරිව සිටින්නේ 40 දෙනෙකු පමණක් බව විශ්වාස කෙරේ. එම ක්ෂීරපායී මත්ස්‍යයා දැනට වාසය කරන්නේ කැලිෆෝනියා බොක්කේය.

ඔවුන් ආරක්ෂා කිරීම පිණිස ඩොල්ෆින් මත්ස්‍යයන් යොදාගැනීමේ ව්‍යාපෘතිය ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමෙරිකානු නාවික හමුදාව සහ අතුරුදහන් වූ කිමිදුම් කරුවන් සෙවීම පිණිස ඔවුන් විසින් පුහුණු කරන ලද ඩොල්ෆින් මත්ස්‍යයන් පිරිසක් සමග පසුගිය වසරේ තමන් මෙම ව්‍යාපෘතිය අත්හදා බැලූ බව පවසන අමාත්‍ය රෆායෙල් පචියානෝ, එහිදී මුහුදු ඌරන් සිටින ස්ථාන සෙවීම සඳහා එම ඩොල්ෆින් මත්ස්‍යයන්ට පුහුණුවක් ලබා දුන් බවත් පැවසීය.

"ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අපි වැඩිම මුහුදු ඌරන් ප්‍රමාණයක් අල්ලා ගත යුතුයි," ඔහු කියා සිටියේය.

මුහුදු ඌරන් රැකගැනීමේ උද්ඝෝෂණයක නිරතව සිටින ජනප්‍රිය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, ධීවර දැල් තහනම් කිරීමේ මෙක්සිකෝ ආණ්ඩුවේ පියවර ප්‍රසංසාවට ලක් කොට තිබේ.

විශේෂයෙන්ම මෙක්සිකෝ ජනාධිපති එන්රිකේ නියෝතෝට (Enrique Pena Nieto) සහ ලෝක වනජීවී අරමුදලට (WWF) ඔහු ස්තුතිය පුද කරයි.

මෙක්සිකෝව විසින් 2015 දී පණවා තිබුණ තාවකාලික තහනම මගින් මුහුදු ඌරන් රැකගැනීමට ප්‍රමාණවත් දායකත්වයක් නොලැබුන බව පවසන ලෝක වනජීවී අරමුදල, එය ස්ථිර තහනමක් බවට පත්කොට නිසි පරිදි ක්‍රියාත්මක කරන මෙන් මෙක්සිකෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.