"ඇලස්කාවට ළඟා විය හැකි මිසයිලයක්" උතුරු කොරියාවෙන්

මිසයිලයක්

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය,

උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ ඡායාරූපය

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමත් සමඟ ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක නිරත වෙයි.

උතුරු කොරියාව අත්හදා බැලූ නවතම දුර විහිදුම් මිසයිලය ඇමරිකාවේ ඇලස්කා ප්‍රාන්තය දක්වා ළඟා විය හැකි බවට විශ්වාස කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, KCNA/VIA REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය,

නවතම අත්හදා බැලීමෙන් පසු සතුටුවන කිම් ජොන්ග් අන්

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ කැඳවීමට එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

උතුරු කොරියාව ඊයේ (ජූලි 04) නිවේදනය කර සිටියේ තමන් අත්හදා බැලූ අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලය සාර්ථක වූ බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඊට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව සහ එක්සත් ජනපදය එක්වී බැලිස්ටික් මිසයිල අභ්‍යාසයක

කෙසේ නමුත්, දුර විහිදුම් න්‍යෂ්ටික අවි තවමත් උතුරු කොරියාව සතුව නොමැති බව ඇතැම් විශේෂඥයෝ පවසති.

දකුණු කොරියානු සහ ඇමරිකානු හමුදා බලධාරීන් එක්ව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම හමුදා ඉවසීමෙන් සහ හික්මීමෙන් කටයුතු කරන නමුත් එය ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවය.

උතුරු කොරියාව සිදුකළ නවතම මිසයිල අත්හදා බැලීම, ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් "ත්‍යාගයක්" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හඳුන්වා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇමරිකාවේ නිදහස් දිනය වෙනුවෙන් ලබා දුන් "ත්‍යාගයක්" -උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන්

මෙවැනි "ත්‍යාග" නිතර නිතර ඇමරිකානුවන්ට යවන ලෙස උතුරු කොරියාවේ නායකයා පවසා ඇති බැවින් ඉදිරියේදී තවත් මිසයිල අත්හදා බැලීම් සිදුවනු ඇති බව උතුරු කොරියාවේ KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.

ඊයේ අත්හදා බැලූ මිසයිලය කිලෝමීටර 2802ක් ඉහළට ගොස් කිලෝමීටර 933ක් ඈතින් මුහුදේ පිහිටි ඉලක්කයක් කරා පතිත වූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.

ලෝකයේ ඕනෑම ස්ථානයකට පහර දිය හැකි බලසම්පන්න ම අන්තර් මහද්වීපික මිසයිල මේවනවිට තමන් සතු බව එම නිවේදනයේ සඳහන් වෙයි.