ඩෙංගු: රුධිර පරීක්ෂණ වාර්තා 'ඉක්මනින් ලබා දිය යුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, cdc
ඩෙංගු රෝගීන් වෙනුවෙන් පෞද්ගලික රෝහල්වල සිදු කරන පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව පැය දෙකක් තුළ නිකුත් නොකරන්නේ නම් ප්‍රතිකාර කිරීම සඳහා එය වලංගු නොවන බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමතිවරයා පවසයි.
සිකුරාදා (ජුලි 21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී ඒ බව සඳහන් කළේ අමාත්‍ය රාජිත සේනාරත්න, ඇතැම් පෞද්ගලික රෝහල් පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට පැය දෙකකට වැඩි කාලයක් ගන්නා බවට වෛද්‍යවරුන්ගෙන් ලැබුන පැමිණිලි පිළිබඳව ප්‍රතිචාරය පළ කරමිනි.
එසේ වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමේ ගැටළු මතුවන බව වෛද්‍යවරු පෙන්වා දුන් අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා, පෞද්ගලික රෝහල්වලින් පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා පැය දෙකකට පෙර නොලැඛෙන්නේ නම් රජයේ රෝහලකට පැමිණ නොමිලේ පරීක්ෂණ කටයුතු සිදු කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පාසල් නිවාඩු දිනයක්
රජයේ රෝහල්වල පැයක් තුල පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා ලබාදෙන අතර, කොළඹ ජාතික රෝහලේ ව්නාඩි 10 කින් රුධිර පරීක්ෂණ වාර්තාවක් නිකුත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Health Ministry
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිවයින පුරා පිහිටි වරාය වල ඉවත් කරන ලද බෝට්ටු විනාශ කිරීම පිළිබඳව ද සාකච්ඡාවේ අවධානය යොමු විය.
තව ද දිවයින පුරා සියළුම පාසල්වල ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස ලබන සිකුරාදා සියළුම පාසල්වලට නිවාඩු ලබා දී පාසල් පිරිසිදු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළීවෙලක් දියත් කිරීමට ද සෞඛ්‍ය ඇමතිවරයා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අතර පැවති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.
එමෙන්ම ලබන සෙනසුරාදා සහ ඉරිදා දිනවල සියළුම රාජ්‍ය ආයතන පිරිසිදු කිරීමට ද රැස්වීමේදී තීරණය කෙරුණු බවත් සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.
ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසර ඇතුළත පමණක් 230 කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක නිරත වූ ඕස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමතිනී ජූලී බිෂොප් බ්‍රහස්පතින්දා (ජුලි 20) නිවේදනය කළාය.