ජපන් ආරක්ෂක ඇමතිනිය අස්වූයේ ඇයි?

ටොමිමෝ ඉනාඩා

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ටොමිමෝ ඉනාඩා

ජපානයේ ආරක්ෂක ඇමතිනිය වූ ටොමිමෝ ඉනාඩා සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

අගමැති ශින්සෝ අබේට බෙහෙවින් හිතවාදී වූ ඇය ධුරයෙන් ඉල්ලා අස්වූයේ, මතභේදයකට ලක්වූ සාමහමුදා යොමුකිරීමකට අදාළ ලේඛන වසන් කිරීම සම්බන්ධයෙන් නැගුනු චෝදනාවකට අනුවය.

ඉනාඩා, ජපානයේ ප්‍රථම අගමැතිනිය වීමේ ඉඩකඩ ඇති බව ඇයගේ ගමන් මග දෙස බලනවිට පෙනීගොස් තිබිණි.

ඇයගේ ඉල්ලා අස්වීම මෙසේ සිදුවුනේ සිය හිතවතුන්ට තනතුරු පිරිනැමීම පිළිබඳ චෝදනා හේතුවෙන් අගමැති අබේ වෙත වූ මහජන සහය ගිලිහෙමින් ඇති අවස්ථාවකය.

සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට ඉවහල්වනු ඇතැයි යන අදහසින් යුතුව අගමැතිවරයා ඉදිරි සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී 58 හැවිරිදි ටෝමිමෝ ඉනාඩා පත්කෙරෙනු ඇතැයි අපේක්ෂා පළවී තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

අගමැති ශින්සෝ අබේ

මෙම තත්වය මතුවුයේ දකුණු සුඩානයේ ආරක්ෂක තත්ත්වය නරක අතට හැරුණු කාලය තුළ එහි යොදවා සිටින සාම සාධක භටයින් සම්බන්ධ ජූලි මාසයේ ලොග් සටහන් ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීමත් සමගය.

එහෙත්, මාස දෙකකට පසුව නිලධාරීන් පැවසුවේ අදාළ දත්ත පරිගණකයකින් සොයාගත් බවය. ඒ අනුව අදාළ ලොග් සටහන් චේතනාන්විතවම සඟවා තබන්නට ඇති බවට චෝදනා එල්ලවන්නට විණි.

සාමවාදීම වූ ව්‍යවස්ථාවක් පදනම් වී ඇති ජපානය තුළ සාම සාධන මෙහෙයුම් මතභේදාත්මක ස්වභාවයක් උසුලයි. සටන් විරාමය සැමවිටම පවත්වාගත යුතුය යන කරුණ ද ඇතුළුව දැඩි කොන්දේසි මත පදනම්ව ජපාන සාම සාධක භටයින් යෙදවේ.

ආරක්ෂාව ප්‍රතිසැකසුම

ටොමිමෝ ඉනාඩා 2016 වසරේදී ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කෙරිණි. එහෙත් ඇය එම පදවිය දැරූ මාස කිහිපය තුළ වැරදීම් ගණනාවක් සිදුවිය. පාලක පක්ෂයට ජනතාවගේ සහය ලැබීම හමුදාවට අවශ්‍ය වී යැයි සිය කතාවකදී හැඟවීම සම්බන්ධයෙන් ඇය විශේෂයෙන්ම දෝෂ දර්ශනයට ලක්වූවාය.

ඉනාඩා ධුරයෙන් ඉවත් වූ වහාම අගමැති ශින්සෝ අබේ සිකුරාදා (ජූලි 28) ජනතාවගෙන් සමාව ඉල්ලීය.

විදේශ කටයුතු ඇමති ෆුමියෝ කිෂිඩා වෙත ආරක්ෂක කටයුතු පිළිබඳ විෂය ද පැවරෙන බව ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

ජපානයේ සාමවාදී ව්‍යවස්ථාව සියලු ආකාරයේ හමුදා පෙහෙයුම් අසීරුවට පත්කරයි

සිය පාලන කාලය තුළ දී හමුදාමය පැවැත්ම යථාවත් කිරීම වෙනුවෙන් සාමවාදී ව්‍යවස්ථාවට වෙනස්කම් එක් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන මතභේදාත්මක පියවර ශින්සෝ අබේ විසින් ගනු ලැබිණි.

එම කරුණ සම්බන්ධයෙන් ජපානය විශාල වශයෙන් මතවාදීව බෙදී ඇති අතර දකුණු සුඩානයට හමුදා යෙදවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය පාරදෘශ්‍ය නොවූ බවට චෝදනා එල්ලවී ඇති අතර එය මහජන සැකයට හේතුවක් වී ඇත.