ඉන්දියාවේ නිදහසේ කතාව: නිදහසේ ප්‍රීතිය සහ බෙදීමේ වේදනාව

  • 2017 අගෝස්තු 20
Image copyright Getty Images
Image caption ඉන්දියාවට නිදහස ලඟා වුණේ ලෝක සිතියමට තවත් රාජ්‍යයක් එක් කරමිනි

1947 අවුරුද්දේ ලන්ඩනයේ යටත් විජිත ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් ඉන්දීය උප මහාද්වීපයේ සිතියම බෙදා ඒ මත අලුතින් අඳින ලද රේඛා කීපය වසර හැත්තෑවක් අවෑමෙන් ද නොනිවෙන යුද ගින්නක් බවට පත්වනු ඇතැයි එදා එම කාර්යයට දායක වූ කිසිවෙකුත් නොසිතන්නට ඇත.

උප මහාද්වීපයේ විශාල රාජ්‍යයන් තුන වන ඉන්දියාව, පකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළත් මහා දේශය 1947 තෙක් බ්‍රිතාන්‍යය සතු තනි පාලනයකට යටත් විශාලතම යටත් විජිතය විය.

එහෙත් එම මහා දේශය අද ලෝක සිතියමේ බෙදී ගිය හෝ 'බෙදා වෙන් කරන ලද' රාජ්‍යයන් තුනක් ලෙස දැක්වෙයි.

සෑම වසරකම අගෝස්තු මාසයේ 14 වෙනිදා පකිස්තානය රාජ්‍යයක් වශයෙන් සිය ජන්ම සංවත්සරය සමරද්දී එයින් දිනකට පසුව අගෝස්තු 15 වෙනිදා ඉන්දියාව සිය නිදහස් දිනය සමරයි.

Image copyright Getty Images
Image caption නිදහසේ මාර්ගෝපදේශකයා

ලෝකයේ ලොකු ම යටත් විජිතය

යටත් විජිතකරණයේ දී තමන් ලද දැවැන්ත ම ජයග්‍රහණය ඉන්දියාව යටත් කර ගැනීම බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයේ නිසැක විශ්වාසය වී තිබුණි.

බ්‍රිතාන්‍ය කිරුළේ මුදුන් මිණ ලෙස සලකන ලද්දේ ඉන්දියාවයි.

එහි තේරුම මහා බ්‍රිතාන්‍යයට සිය යටත් විජිත අතරින් වැදගත්ම විජිතය වූයේ ඉන්දියාවය යන්නයි.

එම යටත් විජිත පාලනයෙන් මිදීමට සංවිධානය වීමේ ඉන්දියානු ඉතිහාසය දහනව වැනි සියවසේ මැද භාගය තෙක් දිව යයි.

සබැඳි යොමු:

ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් මිදීමේ එම අරගලය පෙරදිග ලෝකයේ පමණක් නොව ලොව වෙනත් කලාපයන්හි ද නිදහස් සටනේ ගිනි පුලිඟු දැල්වීමට හේතු විය.

ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලනයෙන් නිදහස් වීම සඳහා ගෙනගිය අරගලයේ ඓතිහාසික සන්ධිස්ථානය 1885 දී ඉන්දියානු ජාතික කොංග්‍රසය පිහිටුවනු ලැබීමයි.

එය ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියානු සහ අප්‍රිකානු බ්‍රිතාන්‍ය යටත් විජිත අතරින් බිහි වූ පළමු නිදහස් සංවිධානය ලෙස ඉතිහාසයට එක්වෙයි.

Image caption ඉන්දීය නිදහස් සටනේ හින්දු-මුස්ලිම් සහෝදරත්වය - නේරු සහ මොහොමඩ් අලි ජින්නා, මවුන්බැටන් සාමිවරයා දෙපස

ජාතික කොංග්‍රසය පිහිටුවනු ලැබීමෙන් අවුරුදු විසි එකකට පසුව 1906 දී සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය බිහි විය.

ඉන්දියාව බෙදී රාජ්‍යයන් තුනක් බවට පත්වීමේ කතාව එරට ජාතික නිදහස් අරගලයේ කතන්දරය තුළම හුයක් මෙන් පෙරට යමින් ඇත.

හින්දු මුස්ලිම් එකමුතුවක්

මුස්ලිම් ලීගය ආරම්භ කරන ලද්දේ ඉන්දියාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කිරීම වෙනුවෙන් වූ නමුත් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් අරගලයේ දී මුස්ලිම් නායකයෝ හින්දු සහ සෙසු ජාතික නායකයන් සමඟ එකමුතු අරගලයක නිරත වූහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විරෝධී අරගලයේ දී හින්දු ජනයා මුස්ලිම් පල්ලි තුළත් මුස්ලිම් ජනයා හින්දු කෝවිල් තුළත් නිදහස උදෙසා එක්ව යාඥා කිරීම අපූරු දර්ශනයක් විය.

මහත්මා ගාන්ධි නායකත්වය දුන් නිදහස් අරගලයේ දී ජවහර්ලාල් නේරු සහ මුස්ලිම් ලීග් නායක මොහොමඩ් අලි ජින්නා ප්‍රමුඛ ජාතික මට්ටමේ හින්දු සහ මුස්ලිම් නායකයෝ නිදහස් සටනේ පෙරමුණ ගත්හ.

නීතිවේදියකු වූ මහත්මා ගාන්ධි 1915 වසරේ දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවට ලඟා වූ අතර ඔහුගේ ප්‍රයත්නය වුණේ සමස්ත ඉන්දීය ප්‍රජා සමූහ එක්කර ගත් ජාතික සංවිධානයක් ගොඩනැගීමයි.

Image caption කොල්කටා නගරයේ හින්දු -මුස්ලිම් වාර්ගික ගැටුමක් (1946)

ඉදියානු ජාතික කොංග්‍රසය තුළ බහුතරය හින්දූන් වූ නමුත් එය මුස්ලිම් ඇතුළු සියලු වාර්ගික සහ ආගමික ජනකොටස් ද ,ධනවතුන්ගෙන් පටන් නිර්ධනීන් ද ඇතුළත් විවධ සමාජ පන්තීන් ද, කුලීනයන්ගේ පටන් පීඩිත කුලවලට අයත් ජනතාව ද ඒකරාශී කර ගත් දැවැන්ත ජනතා බලවේගයක් බවට පත් විය.

ගාන්ධිගේ ඉලක්කය වුණේ එම ජාතික බලවේගයේ බලය පාවිච්චි කරමින් ඉන්දියාවට "ස්වරාජ්"(ස්වරාජ්‍යය) තත්වය දිනා ගැනීමයි.

ඉන්දියානු මුස්ලිම් ප්‍රජාව සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අදහස 1906 දී මුස්ලිම් ලීගය ආරම්භයේ පටන්ම දැකිය හැකි වූ අතර, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරය තුළ උඩ යට යමින් පැවති එම අදහස ජය ගනිමින් ඉන්දියාවෙන් වෙන් වූ 'මුස්ලිම් රාජ්‍යයක්' බිහි කර ගැනීම සිය ඉලක්කය බව සමස්ත ඉන්දීය මුස්ලිම් ලීගය 1940 දී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් කියා සිටියේය.

මේ අනුව සමස්ත ඉන්දියානුවන්ගේ සටන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදීම වුවත් එම අරමුණ අනුව ජාතික නිදහස් සටනට එක්වූ මුස්ලිම් ලීගයට නිදහසත් සමඟ තවත් අභිප්‍රායක් විය.

එනම් ඉන්දියානු මුස්ලිම් ජනයා සඳහා ඉන්දියානු භූමියෙන් භූමියක් ලබා ගැනීමයි.

Image copyright Getty Images
Image caption ඉන්දියානු මව්බිම හැරදමා පකිස්තාන් නව නිවහන බලා දුම්රියට නගින මුස්ලිම් කාන්තාවන් (1947)

එම ද්විත්ව අරමුණු මත පෙරට ගිය දිගුකාලීන නිදහස් අරගලයෙන් ඉන්දියාව ජයගත් නමුත් දකුණු ආසියාවේ මහා දේශය නිදහස දිනා ගත්තේ රාජ්‍යයන් දෙකක් හැටියට දෙකඩ වීමෙනි.

ඒ ඉන්දියාව සහ පාකිස්තානයයි.

රටවල් දෙකක්

ඉන්දියානු මුස්ලිම් ප්‍රජාව ඇතුළත් කරමින් බිහි වූ නව රාජ්‍යයට වයඹ දිගින් සහ නැගෙනහිරින් භූමිය වෙන් කරනු ලැබුණි.

ඒ අනුව 1940 දශකයේ අග භාගයේ ලෝක සිතියමට එකතු වූ නව රට වූ පකිස්තානය භෞතික වශයෙන් එකිනෙකින් වෙන්ව පිහිටි භූමීන් දෙකක් එක් කරමින් නිර්මාණය කරන ලද රාජ්‍යයක් විය.

පකිස්තානය සංයුක්ත වූ එම භූමීන් දෙක හඳුන්වන ලද්දේ බටහිර පකිස්තානය සහ නැගෙනහිර පකිස්තානය යනුවෙනි. (නැගෙනහිර පකිස්තානය අද බංග්ලාදේශයයි)

1947 අගෝස්තු 14 වෙනිදා පකිස්තානය නිදහස් රටක් හැටියට ප්‍රකාශයට පත් කරන ලද අතර ඉන්දියානු මුස්ලිම් ලීගයේ නායක මොහොමඩ් අලි ජින්නා නිදහස් පකිස්තානයේ පළමු අගමැතිවරයා හැටියට පත් කරනු ලැබුණි.

ඉන්දියානු භූමියේ මුස්ලිම් රාජ්‍යයක් ප්‍රාර්ථනා කළ මුස්ලිම් ප්‍රජාව දශ ලක්ෂ ගණනින් නව පකිස්තාන් රාජ්‍යයේ පදිංචිය බලා ගමන් ආරම්භ කළහ.

ඒ සමඟ පැතිර ගිය වර්ගවාදී සහ ආගම්වාදී ගැටුම විසින් වග කියන ලද ලක්ෂ සංඛ්‍යාත ජීවිත හානිය සහ සමාජ අලාභය ඉන්දියාවට හෝ ළදරු පකිස්තානයට දැරිය නොහැකි මට්ටමේ එකක් විය.

Image caption නිදහස සමඟ බිඳී ගිය දේශයක්

යුද්ධ හෝ සාගින්දර නිසා සිදු වූ මිනිස් විතැන්වීම් හැරුණ විට ලෝක ඉතිහාසයේ වාර්තා වූ මහා මිනිස් විතැන් වීම සිදු වන්නේ ඉන්දියාව දෙකඩ කිරීමත් සමගය.

බෙදුම්වාදය සමඟ උත්සන්න වූ ආගමික කැරලි කෝලාහල වලින් පන් ලක්ෂයත් දස ලක්ෂයත් අතර ජනකායකට ඔවුන්ගේ ජීවිත අහිමි වූ අතර එක්කෝටි විසි ලක්ෂයක් පමණ ජනතාව අනාථභාවයට පත් වූහ.

දස දහස් ගණනක් කාන්තාවෝ පැහැර ගනු ලැබීමට ලක් වූහ. රටවල් දෙකක් අතර මාරුවීමේ දී ඇතැම් පවුල් දෙකඩ විය.

ඉන්දියාව බෙදී වෙන්වීමේ කතාන්දරයේ ඛේදජනක පරිච්ඡේදය එම ක්‍රියාවලිය තුළ සිදු වූ මානව ව්‍යසනයයි.

දේශය රටවල් දෙකක් බවට පත්වීමත් සමඟ ඉන්දියාවෙන් පකිස්තානයටත් පකිස්තානයෙන් ඉන්දියාවටත් ගමන් ගත් ජනතාව මුහුණ දුන් සත්‍යය අත්දැකීම් සමුදාය පසුබිම් කර ගත් සාහිත්‍යයක් පවා බිහිව ඇත.

ඇතැමෙක් මහමඟ විඩාවෙන් පිපාසයෙන් සහ ක්ෂුධාවෙන් මරණයට පත් අතර දෙමව්පියන් අහිමි වූ දරුවෝ සදාකාලික අනාථයන් බවට පත්වූහ.

Image caption මව්වරුන් දරුවන් ඇකයට ගෙන ලැසි ගමන අමතක කළහ.මිනිස්සු දුර්වල භාර්යාවන් දෙඋර මතට ගෙන ඉදිරිය බැලූහ.

වෙහෙස නොබලා දුම්රියෙන් හෝ ඇතැම්විට පාගමනින් දෙපැත්තට ගමන් ගනිමින් සිටි ජනතාව මග දෙපස මැරී සිටි මිනිසුන් අතරින් පාරාදීසය සොයා ගමන් ගත්හ.

ඇතැමුන් ගොන් කරත්ත වලින් ගමන් ගත්හ. මව්වරුන් දරුවන් ඇකයෙන් ගෙන ලැසි ගමන අමතක කළහ. මිනිස්සු දුර්වල භාර්යාවන් දෙඋර මතට ගෙන ඉදිරිය බැලූහ.

අවසානයේ දී කෝටියකට අධික ජනතාවක් සිය පාරම්පරික වාසභූමි අත්හැර එතෙක් නුදුටු ලෝකයක් සොයා අස්ථානගත වූහ.

ජාතීන් දෙකක් සාමාන්‍ය 'ප්‍රතිවාදීන් නොව' සදාකාලික සතුරන්ගේ තත්වයට පත් වූ අතර එම විරසකභාවය ක්‍රීඩාව තෙක් සමාජ ජීවිතයේ සියලු පැතිකඩ ආක්‍රමණය කරනු ලැබ ඇත.

ඉන්දියාවේ සහ පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අසල්වැසි බංග්ලාදේශයේ දී හෝ ශ්‍රී ලංකාවේ දී මුණගැසී ක්‍රීඩා කළත් ඔවුන්ගේ පොළොවේ මුණ ගැසී ක්‍රීඩා කිරීමේ වරම ඔවුන් සතු නොවේ.

'එයාර් ඉන්දියා' සහ 'පකිස්තාන් ගුවන් සේවයේ' යානා ලෝකය පුරා සැරිසරන නමුත් නවදිල්ලිය සහ ඉස්ලාමාබාද් අතර ගුවන් ගමන් තහනම්ය.

පසු කාලයෙහි (1971) නැගෙනහිර පකිස්තානය සිය නිදහස් අරගලය ජයගනිමින් බංග්ලාදේශය බිහි කිරීමත් සමඟ ඉන්දියාව බෙදීයාමෙන් බිහි වූ රාජ්‍යයන්ගේ සංඛ්‍යාව තුනක් බවට පත් වූ අතර එක් රටක් එලෙස රාජ්‍යයන් තුනකට බෙදී යාමේ වෘත්තාන්තයත් එරට ජාතික නිදහස් අරගලයේ කතන්දරය තුළම හුයක් මෙන් ඇමිණී පෙරට යමින් තිබුණි.