මරාගෙන මැරෙන බෝම්බකාරියන් තුන්දෙනෙක්

  • 2017 අගෝස්තු 16
Image copyright AFP
Image caption බොකෝ හරාම් කැරැල්ල පරාජය කිරීමට නයිජීරියානු හමුදාව අසමත්ව ඇත.

මරාගෙන මැරෙන බෝම්බකාරියන් තුන්දෙනකු විසින් නයිජීරියාවේ ඊශාන දිග නගරයක දී එල්ල කරන ලද ප්‍රහාරවලින් යටත් පිරිසෙයින් විසිහත් දෙනකුවත් මරා දමනු ලැබුණි.

නයිජීරියාවේ බෝර්නෝ(Borno) ප්‍රාන්තයේ 'මෙයිඩුගුරි' (Maiduguri) නගරය අසල අනාථ කඳවුරක් ඉදිරිපිට දී එල්ල කරන ලද ප්‍රහාර වලින් මියගිය පුද්ගලයන්ට අමතරව තවත් විශාල පිරිසකට තුවාල සිදුව ඇත.

බෝර්නෝ(Borno) ප්‍රාන්තය 'බොකෝ හරාම්' ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායමේ බලකොටුවක් වැනි ප්‍රදේශයකි.

පසුගිය කාලය තුළ 'මෙයිඩුගුරි' (Maiduguri) නගරයෙන් බොහෝ ප්‍රචණ්ඩ ප්‍රහාර පිළිබඳව වාර්තා ලැබෙමින් පැවතුණි.

Image caption බොකෝ හරාම් ප්‍රහාරකයන් කණ්ඩායමක්

බොකෝ හරාම් කැරලිකරුවෝ 2009 වසරේ පටන් ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදිමින් සිටිති.

මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පුරුෂයන්ට වඩා කාන්තාවන් යොදාගත් ඉතිහාසයේ පළමු කැරැල්ල මෙය බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ත්‍රස්ත විරෝධී පර්යේෂකයන් කණ්ඩායමක් විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වෙයි.

ජිහාඩ් ප්‍රහාරකයන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන බලකායක සාමාජිකයකු වන බාබා කරු (Baba Kura) නැමැත්තෙක් AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින්, එක් මරාගෙන මැරෙන බෝම්බ කාරියක් අනාථ කඳවුර ඉදිරිපිටදී පිපිරීම සිදුකර ගැනීමත් සමඟ ඒ අවට සිටි ජනතාව කලබලයට පත් වූ බව කියා සිටියේය.

Image caption බෝර්නෝ ප්‍රාන්තය සිතියමේ ඊශාන දිග කලාපයේ දැක්වෙයි

" පළමු පිපිරීමත් එක්ක මිනිස්සු ඔවුන්ගේ කඩ සාප්පු වසා දැමීමට උත්සාහ කරමින් සිටිද්දී අනිත් බෝම්බකාරියන් දෙදෙනා පිපිරීම් සිදු කර ගත්තා. විශාල පිරිසකට තුවාල සිදු වුනා" බාබා කරු (Baba Kura) පවසයි.

'බොකෝ හරාම්' කැරලිකරුවන් පරාජය කළ බවක් නයිජීරියානු ආණ්ඩුව පසුගිය වසරේ ප්‍රකාශ කරනු ලැබ ඇත.

එහෙත් ප්‍රහාර නතර කිරීමට යුද හමුදාව අසමත් බව වාර්තාකරුවෝ පවසති.

එවැනි තත්වයක් යටතේ 'බෝර්නෝ' ප්‍රාන්තයේ ජනතාව සිය ගේ දොර හැරදමා පළා යමින් අනාථ කඳවුරුවල පිහිට පතමින් සිටිති.

Image caption බොකෝ හරාම් කැරලිකරුවන් විසින් පැහැර ගන්නා ලද පාසල් දැරියන් කණ්ඩායමක්