ස්පාඤ්ඤයේ තවත් ප්‍රහාරයක්: 'ප්‍රහාරකයන් මරා දැමුවා'

  • 2017 අගෝස්තු 18
Barcelona is one of Europe's most popular cities for tourists Image copyright Reuters
Image caption බාසෙලෝනා ප්‍රහාරයෙන් පසුව අතරමං වූ සංචාරකයෝ

ස්පාඤ්ඤයේ බාසෙලෝනා නගරයේ ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි ජනතාව වෙතට බ්‍රහස්පතින්දා රාත්‍රියේ පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව කම්බ්‍රිල්ස් (Cambrils) ප්‍රදේශයේ එවැනිම තවත් ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය පවසයි.

දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදීන් යයි සැක කෙරෙන පස් දෙනෙකු මරා දැමූ බවත් ස්පාඤ්ඤ පොලිසිය සඳහන් කරයි.

පුපුරන ද්‍රව්‍ය සහිත බැඳ පටි පැළඳ සිටි ඔවුන් පස් දෙනා සහ බාසෙලෝනා ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බවට පොලිසිය විශ්වාස කරයි.

සිදු වූයේ කුමක්ද?

සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය අගනුවර ලස් රම්බ්ලාස් (Las Ramblas) ප්‍රදේශයේ ජනතාව දෙසට වේගයෙන් වෑන් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් 13 දෙනෙකු මරා දැමුවේය. එහිදී තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

පලා ගිය ප්‍රහාරකයා තවමත් සොයාගෙන නැත.

Image copyright AFP
Image caption අගනුවර ප්‍රහාරයෙන් පසු පලා යන ජනතාව

බාසෙලෝනා සහ තදාසන්න ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන නමුත් වෑන් රථයේ රියදුරා ඒ අතර නැත.

එය "ජිහාඩ්වාදී ප්‍රහාරයක්" ලෙසින් අගමැති මරියානෝ රයෝයි (Mariano Rajoy) විග්‍රහ කරන අතර, තමන් ප්‍රහාරය එල්ල කළ බව IS ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පිළිගෙන තිබේ.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් අගමැතිවරයා විසින් තුන් දින ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

දෙවෙනි ප්‍රහාරය

ලස් රම්බ්ලාස් (Las Ramblas) ප්‍රහාරයෙන් පැය අටකට පමණ පසුව, බාසෙලෝනා සිට කිලෝමීටර 110 ක් පමණ නිරිත දිග ප්‍රදේශයේ පිහිටි සංචාරකයන් අතර ජනප්‍රිය නගරයක් වන කම්බ්‍රිල්ස් (Cambrils) හි පදික වේදිකාවේ ගමන් කරමින් සිටි ජනතාව වෙතට පුද්ගලයෙක් වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන පැමිණියේය.

එහිදී සාමාන්‍ය වැසියන් හය දෙනෙකුට සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු විය. එක් තුවාලකරුවෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.

Image copyright AFP

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලවලින් සැරසී සිටි කිහිප දෙනෙකු ඇතුළු ප්‍රහාරකයකයන් පස් දෙනෙකු වෙඩි තබා මරා දැමීමට එහිදී පොලීසිය සමත් වී තිබේ.

ඉන් අනතුරුව නගරය තුළ බෝම්බ කිහිපයක් නිෂ්ක්‍රිය කරනු ලැබිණ.

බාසෙලෝනා සහ කම්බ්‍රිල්ස් ප්‍රහාර දෙක එකිනෙක හා සම්බන්ධ බව පොලිසිය පවසයි.

වාහනවලින් එල්ල කළ මාරක ප්‍රහාර

  • 2017 අගෝස්තු 12: ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජීනියා ප්‍රාන්තයේ චාල්ට්ස්විල් නගරය - උද්ඝෝෂකයන් දෙසට රථයක් පදවාගෙන විත් මිනීමැරීමේ චෝදනාව යටතේ 20 හැවිරිදි ජේම්ස් ෆීල්ඩ්ස් ට නඩු පවරා තිබේ
  • 2017 අගෝස්තු 09 - ප්‍රංශයේ පැරිස් අගනුවර සොල්දාදුවන් පිරිසක් දෙසට පුද්ගලයෙක් වේගයෙන් මෝටර් රථයක් පදවාගෙන විත් 6 දෙනෙකුට තුවාල සිදු කළේය
  • 2017 ජුනි 03 - බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලන්ඩන් පාලමේ ගමන් කරමින් සිටි පදිකයන් දෙසට ජිහාඩ්වාදීන් තිදෙනෙකු වාහනයක් පදවාගෙන ආ අවස්ථාවේ 8 දෙනෙකු මරුමුවට පත්විය
  • 2017 මාර්තු 22 - ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාලම මත ගමන් කරමින් සිටි ජනතාව වෙතට මෝටර් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් සිවු දෙනෙකු මරා දමා පසුව පොලිස් නිලධාරියෙකුට ද පිහියෙන් ඇන මරා දැමුවේය
  • 2017 අප්‍රේල් 7 - ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර මහජනතාව දෙසට ලොරියක් පදවාගෙන පැමිණි උස්බෙක් ජාතිකයෙක් 4 දෙනෙකු ඝාතනය කළේය
  • 2016 දෙසැම්බර් 19 - ජර්මනියේ බර්ලින් නගරයේදී ටියුනීසියානු ජාතික අනීස් අමීර් නත්තල් කඩ වීදියකට ට්‍රක් රථයක් පදවාගෙන පැමිණ 12 දෙනෙකු මරා දැමුවේය
  • 2016 ජුලි 14 - ජාතික උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ ප්‍රංශයේ නීස් නගරයේ සංචාරකයන් අතර ජනප්‍රිය මංතීරුවක් වෙතට ටියුනීසියානු ජාතිකයෙකු ට්‍රක් රථයක් පදවාගෙන පැමිණ 86 දෙනෙකු මරා දැමුවේය
  • 2014 දෙසැම්බර් - ප්‍රංශයේ Nantes ප්‍රදේශයේ නත්තල් කඩවීදියකට වෑන් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් සහ Dijon ප්‍රදේශයේ පදිකයන් දෙසට මෝටර් රථයක් පදවාගෙන පැමිණි පුද්ගලයෙක් 20 දෙනෙකුට තුවාල සිදු කළහ
Image caption බ්‍රහස්පතින්දා ප්‍රහාරය එල්ල වූ බාසෙලෝනා නුවර ලස් රම්බලාස් ප්‍රදේශය