"විනෝදයට මිනී මැරීම නතර කරන්න "

Image copyright AFP/getty
Image caption සතියක් ඇතුළත පිලිපීන පොලිසිය අගනුවර සිදුකළ වෙඩි තැබීම් මගින් හැත්තෑවකට අධික පිරිසක් මරා දමා තිබුණි.

'මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහි යුද්ධය' හැටියට පිලිපීන ආණ්ඩුව විසින් ප්‍රකාශිත ආක්‍රමණය සම්බන්ධයෙන් එරට කතෝලික සභාව මැසිවිලි පළ කරයි.

පිලිපීන කතෝලික සභාවේ ප්‍රධානී කාදිනල් ලුවිස් ටැග්ලේ (Cardinal Tagle) ආණ්ඩුවේ එම මෙහෙයුම විග්‍රහ කරන්නේ "මහජන ජීවිත විනාශයක්" හැටියටයි.

කාදිනල් ටැග්ලේ එම අදහස් පළකළේ, රුධිරයෙන් මැනිලා අගනුවර තෙත් වූ සතියක නිමාවේදීයි.

එම සතිය ඇතුළත පිලිපීන පොලිසිය අගනුවර සිදුකළ වෙඩි තැබීම් මගින් හැත්තෑවකට අධික පිරිසක් මරා දමා තිබුණි.

ඔවුන් අතරින් තිස් දෙදෙනකු මරා දමනු ලැබ තිබුණේ එක දවසක් තුළයි.

Image caption කාදිනල් ටැග්ලේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ආරක්ෂක හමුදා අමතමින්, ඔවුනොවුන්ගේ හෘදය සාක්ෂිය විපරම් කරන මෙන් ඉල්ලීමක් කරයි

වෙඩි තබනු ලැබ මරා දමන ලද දාහත් හැවිරිදි කිආන් දේලොස් සන්ටෝස් (Kian Delos Santos) නම් යොවුන් තරුණයකු ගේ මළ සිරුර පොලිසිය විසින් ඇදගෙන යන ආකාරය සටහන් CCTV වීඩියෝ පටයක් ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව, පිලිපීනයේ සිදු කෙරෙන මිනිස් ඝාතන මානව හිමිකම් සංවිධාන විසින් හඳුන්වන ලද්දේ 'විනෝදයට කරන මිනී මැරීමක්' හැටියටයි.

පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන කාදිනල් ටැග්ලේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ආරක්ෂක හමුදා අමතමින්, ඔවුනොවුන්ගේ හෘදය සාක්ෂිය විපරම් කරන මෙන් ඉල්ලීමක් කළේය.

"මහජන ජීවිත විනාශ කිරීම නතර කළ යුතුයි. අනවසර මත් ජාවාරම දේශපාලන හෝ අපරාධ මාතෘකාවකට ලඝු නොකළ යුතුයි. මෙය අප කාටත් බලපාන මානවීය මැසිවිල්ලක්" පිලිපීන කතෝලික සභාවේ ප්‍රධානී කාදිනල්වරයා පෙන්වා දෙයි.

Image caption මත් ද්‍රව්‍ය වලට එරහි යුද්ධයක් මැද ජන ජීවිතය

කාදිනල්වරයාට සහයෝගය පළ කරන අග රදගුරු විලිගාස් (Archbishop Socrates Villegas) ප්‍රකාශයක් කරමින්,සහෝදරත්වය වෙනුවෙන් හැම දිනකම රාත්‍රී අටට දේවස්ථානයන්හි සීනු නාද කරන මෙන් ඉල්ලීමක් කළේය.

පසුගිය වසරේ බලයට පැමිණි පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේ (Rodrigo Duterte) විසින් ප්‍රකාශයට පත් කරන ලද 'මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව්‍යාපාරය' යටතේ ගත වූ කාල සීමාව ඇතුළත පන් දහසකට අධික පිරිසක් මරා දමනු ලැබ ඇත.

නීතියට පටහැණිව යමින් සිදු කරනු ලබන ඝාතන සැලසුම් කරන බවට සහ ඇතැම් ඝාතන වලින් ලාභ උපයන බවට මානව හිමිකම් සංවිධාන පිලිපීන පොලිසියට දෝෂාරෝපණය කරති.

අවි ආයුධ යොදා ගනිමින් එල්ල කරනු ලබන ප්‍රතිචාර වලට මුහුණ දෙන අවස්ථාවන්හි දී පමණක් සැකකරුවන් මරා දමන බව පොලිසිය පවසයි.

Image copyright Reuters
Image caption පිලිපීන ජනාධිපති දුටර්ටේ

ජනාධිපති දුටර්ටේ පසුගිය වසරේ මැයි මාසයේ මත් ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම ප්‍රකාශයට පත්කරන ලද්දේ පොලිසිය 'පිරිසිදු කරන බවට' සහ මත් විරෝධී අංශ යළිත් ප්‍රතිසංවිධානය කරන බවට ද ප්‍රතිඥාවක් දෙමිනි.