බාසිලෝනා සැකකරු හඳුනා ගැනෙයි

  • 2017 අගෝස්තු 21
Image copyright Police handout
Image caption යූනස් අබූයකූබ් ආයුධ සන්නද්ධව සිටිය හැකි බව පොලිසිය පවසයි

පසුගිය සතියේදී බාසිලෝනා අගනුවර පදිකයන් වෙත රිය පැදවූ බවට සැක කෙරෙන රියදුරාගේ අනන්‍යතාව ස්පාඤ්ඤ පොලිසිය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

17 වෙනිදා රාත්‍රියේ බාසිලෝනා අගනුවර ජනාකීර්ණ වීදියක සිටි පදිකයන් වෙත පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙනවිත් එල්ල කළ ප්‍රහාරයෙන් දහතුන් දෙනෙකු මරණයට පත් විය.

රිය පැදවූ තැනැත්තා විසි දෙහැවිරිදි යූනස් අබූයකූබ් නමැති අයෙකු බව කී බලධාරීහු ඔහු සොයා කෙරෙන මෙහෙයුම් යුරෝපය දක්වා ව්‍යාප්ත කර ඇති බව සඳහන් කළහ.

ප්‍රහාරය එල්ල කළ දින එම ස්ථානයේ සිට ඔහු පළා යන ආකාරය අලුතින් නිකුත් කරන ලද CCTV දර්ශන ඔස්සේ පෙනෙන්නට තිබේ.

යූනස් අබූයකූබ් නැමැත්තා එම ස්ථානයෙන් පළා ගොස් නගර සීමාව ආසනයේ දී රියදුරෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර ඔහුගේ මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බව බලධාරීහු පවසති

පිහි පහර කෑ එම රියදුරා මරණයට පත්වීමත් සමග ප්‍රහාරවලට ගොදුරුව මිය ගිය සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගොස් ඇති බවත් බලධාරීහු කියා සිටියහ.

'ජිහාඩ්වාදීන්' පස් දෙනෙකු මරුට

Image copyright El Pais
Image caption යූනස් අබූයකූබ් පළා යන ආකාරය අලුතින් නිකුත් කරන ලද CCTV දර්ශන ඔස්සේ පෙනෙන්නට තිබේ

සිකුරාදා (අගෝස්තු 18) පෙරවරුවේ ස්පාඤ්ඤයේ කැම්බ්‍රිල්ස් ප්‍රදේශයේ සිටි පදිකයන් වෙත තවත් මෝටර් රථයක් පදවාගෙන විත් එල්ල කළ දෙවන ප්‍රහාරයෙන් කාන්තාවක් මරණයට පත් විය.

එහිදී ජිහාඩ්වාදීන් යැයි සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබේ.

පුපුරන ද්‍රව්‍ය සහිත බැඳ පටි පැළඳ සිටි ඔවුන් පස් දෙනා සහ බාසිලෝනා ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බවට පොලිසිය විශ්වාස කරයි.

ප්‍රහාරය එල්ල කළ තරුණයන් රැඩිකල් මතවාදීන් බවට පත් කළේ යයි සැක කෙරෙන ඉමාම්වරයෙකු බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලැබූ නිවසක සිදු වූ පිපිරීමකින් මරණයට පත්ව ඇතැයි සිතිය හැකි සාක්ෂි ඇති බවත් බලධාරීහු කියා සිටියහ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර