ජාතිවාදයට එරෙහිව විදේශීය භාණ්ඩ ඉවත් කළ වෙළෙඳ සැල

  • 2017 අගෝස්තු 24

ජර්මනියේ හැම්බර්ග් (Hamburg) නුවර සුපිරි වෙළෙඳ සැලක් සිය රාක්කවල තිබු සියලු විදේශීය ආහාර සහ භාණ්ඩ වර්ග හදිසියේම ඉවත් කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් වෙළෙඳ සැල සම්පූර්ණයෙන්ම පාහේ හිස්ව ගිය අතර, එම රාක්කවල තිබුණු ආහාර වෙනුවට එතැන දැන්වීමක් සවිකර තිබිණ.

"විවිධත්වය නැති තැන මේ රාක්කයේ කිසිම ආකර්ෂණයක් නෑ," එම දැන්වීමේ සටහන්ව තිබිණ.

ජාතිවාදයට එරෙහි වීමේ අවශ්‍යතාව අවධාරණය කිරීම වෙළෙඳ සැලේ බලධාරීන්ගේ මේ "උද්ඝෝෂණයේ" අරමුණය.

රට පුරා මතුවෙමින් පවතින සංක්‍රමණිකයන්ට එරෙහි මතවාදයට මෙන්ම සංක්‍රමණිකයන් සම්බන්ධ අපරාධ රැල්ලට ද වෙළෙඳ සැල සිය විරෝධය පළ කරයි.

හැම්බර්ග් නුවරින් ආරම්භ කළ මේ විරෝධතාව රට පුරා පිහිටි සිය වෙළෙඳ සැල්වල ද දියත් කිරීම ජර්මනියේ විශාලතම සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයක් වන එඩෙකා (Edeka) සමාගමේ අපේක්ෂාවය.

"එඩෙකා විවිධ දේ සහ ජනවර්ග අතර විවිධත්වය වෙනුවෙන් පෙනී සිටිනවා," සුපිරි වෙළෙඳ සැල් ජාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

"ජර්මනියේ විවිධ ප්‍රදේශවල නිෂ්පාදනය කළ ආහාර අපේ වෙළෙඳ සැල්වල අපි අලෙවි කරනවා. නමුත් අපේ පාරිභෝගිකයන්ට අවශ්‍ය විවිධාකාරයේ නිෂ්පාදන සියල්ල ලබාදෙන්න අපිට පුළුවන් වෙන්නේ අනෙක් රටවල නිෂ්පාදනත් ලබාගත්තොත් පමණයි."

වර්ගවාදයට එරෙහි සිය ව්‍යාපාරයට විශාල පිරිසකගේ සහයෝගය පළවීම පිළිබඳව සතුටු වන බව ද ප්‍රකාශකයා පැවසීය.

සබැඳි විෂයයන්