වී ගොවීන්ට සහන දුන් හිටපු අගමැතිනිය 'රටින් පළා යයි'

Ms Yingluck is the sister of former PM Thaksin Shinawatra, who fled Thailand in 2008

ඡායාරූප මූලාශ්‍රය, Reuters

වී ගොවියන්ට සහන ලබාදීම සම්බන්ධ නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්වීමට ප්‍රථම තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලුක් ශිනවත් රටින් පළා ගොස් ඇති බව බීබීසී යට අනාවරණය වේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්කෙරෙන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මොහොතකට පෙර අනපේක්ෂිත ලෙස විදේශගත වීමට ඇය තීරණය කළ බව ඇයගේ පක්ෂයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

කෙසේ නමුත් මේ වනවිට ඇය කුමන රටක සිටින්නේ ද යන්න ඔවුහු අනාවරණය නොකළහ.

අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ඇයට අධිකරණය ඉදිරියේ පෙනී සිටිය නොහැකි බව ඉන් අනතුරුව අධිකරණයට දැනුම් දුන් ඇයගේ නීතිවේදීහු, නඩු තීන්දුව කල් දමන මෙන් ඉල්ලා සිටියහ.

එහෙත් ඇය අසනීපයෙන් පසුවන්නේ යයි විශ්වාස නොකරන බව සඳහන් කළ අධිකරණය යින්ලුක් ශිනවත් අත්අඩංගුවට ගන්නා මෙන් වරෙන්තු නිකුත් කොට ඇයගේ ඇප මුදල ද රාජසන්තක කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සැප්තැම්බර් 27 වෙනි දින දක්වා කල් තැබිණ.

2011 දී බලයට පත්වීමෙන් අනතුරුව සහල් සඳහා වී ගොවියන්ට වෙළෙඳ පොලේ මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් ගෙවීමේ වැඩසටහන අගමැතිනි යින්ලුක් ශිනවත් ක්‍රියාවට නැගුවේ සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමිනි.

එහෙත් එමගින් තායිලන්තයේ සහල් අපනයනයට දැඩි පහරක් එල්ල වූ අතර, එමගින් රටට ඩොලර් බිලියන අටකට ආසන්න පාඩුවක් සිදු විය.

ආණ්ඩුවේ ගබඩාවල ගොඩ ගැසුණු සහල් විකුණා ගැනීම ද බරපතල ගැටලුවක් බවට පත්විය.

ඒ සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනය හමුවේ හමුදාවේ සහාය ලත් පාර්ලිමේන්තුව 2015 දී දෝෂාභියෝගයක් මගින් ඇය බලයෙන් පහ කළේය.

රටට එවැනි අලාභයක් සිදු වූ වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමේදී කිසිදු වරදක් නොකළ බව හිටපු අගමැතිනි යින්ලුක් ශිනවත් පවසන නමුත් දෙවසරක් මුළුල්ලේ පැවති නඩු විභාගයෙන් අනතුරුව ඇය වැරදිකරු බව තීරණය වුවහොත් ඇයට දස වසරක් දක්වා වූ සිරදඬුවමක් විඳීමට සිදුවිය හැකි අතර, දේශපාලනයේ යෙදීම ද ජීවිතාන්තය දක්වා තහනම් විය හැකිය.

හිටපු අගමැතිනිය අනපේක්ෂිත ලෙසින් සිකුරාදා අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම පිළිබඳව අධිකරණයේ ඉදිරියේ රැස්ව සිටි ඇයගේ ආධාරකරුවන් ඇතුළු බොහෝ දෙනා විමතියට පත්ව සිටියහ.

රටින් පිටව යාමේ සියලු මාර්ග පිළිබඳව දැඩි සෝදිසියෙන් සිටින බව තායිලන්ත මිලිටරි ආණ්ඩුවේ අගමැති ප්‍රයුත් චාන්-ඔචා මේ අතර පවසයි.

"සියලුම දේශසීමා මුර කපොලුවල ආරක්ෂාව තර කරන්න කියල මම නියෝග කළා," වාර්තාකරුවන් අමතමින් අගමැතිවරයා පැවසීය.