අයර්ලන්තයේ කැනේඩියානු නිල නිවසේ 'භුතාත්මයක්'?

  • 2017 අගෝස්තු 26
Patrick Pearse
Image caption කැරැල්ලට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් යුද අධිකරණය වෙත පමුණුවන ලද පසුව මරා දමනු ලැබීය

සාමාන්‍යයෙන් තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ අවධානයට ලක් වන්නේ විදේශ සබඳතා, විදේශ ප්‍රතිපත්ති වැනි කරුණුය.

මේ දිනවල එවැනි කරුණුවලට අමතරව තවත් විශේෂ යමක් අයර්ලන්තයේ සිටින කැනේඩියානු තානාපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.

ඒ සිය නිල නිවස තුළ සිදුවන කිසියම් බියකරු සිදුවීම් ජාලයකි.

ඩබ්ලින් අගනුවර පිහිටි කැනේඩියානු තානාපති නිල නිවස තුළ භූතාත්මයක් සැරිසරන බවට වූ අදහස හේතුවෙන් තානාපති කෙවින් විකර්ස් තිගැස්මට ලක්ව සිටී.

නිල නිවසේ ශාලාවක් දෙසින් අසාමාන්‍ය උස් ශබ්ද, තදින් හුස්ම ගන්නවා වැනි හඬ සහ දැඩි පාද තැබීම් වැනි හඬ ඇසීම පිළිබඳ කැනේඩියානු තානාපතිවරයා ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

එය අයර්ලන්තයේ පාස්කු පිබිදීමට සම්බන්ධ වූ නායකයෙකුගේ අවතාරය විය හැකි බව තානාපතිවරයාගේ විශ්වාසය වී තිබේ.

අයර්ලන්ත ජාතිකවාදියෙකු වූ පැට්‍රික් පියස් වත්මන් තානාපති නිවසේ එවක වාසය කර ඇති බව එහි මුල්වරට පැමිණි තානාපති කෙවින් විකර්ස්ට අසන්නට ලැබී ඇත.

පැට්‍රික් පියස්, බ්‍රිතාන්‍ය පාලනය නෙරපා දමා අයර්ලන්ත ජනරජයක් පිහිටුවීම සඳහා 1916 වසරේ දියත් කළ කැරැල්ලේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කළේය.

මරණය

Image copyright PMO via Getty Images
Image caption අයර්ලන්තයේ කැනේඩියානු තානාපති පදවියට පත්වීමට ප්‍රථම කෙවින් විකර්ස් කලක් ජාතික පොලිස් සේවයේ නිලධාරියෙකු ලෙස ද පසුව කැනඩා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ද සේවය කළේය

දින හයක් පුරා පැවති සටන්වල දී 450 අධික පිරිසක් මරණයට පත් වූ අතර 2,600 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

කැරැල්ලට සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් යුද අධිකරණය වෙත පමුණුවන ලද ඔහු පසුව මරා දමනු ලැබිණ.

නිල නිවසේ වාසය කිරීමට පැමිණීමට පෙර තමන් අවතාර සහ භූතාත්ම පිළිබඳ විශ්වාස නොකළ බව තානාපතිවරයා පවසයි.

"සමහර හවස් කාලවල ඔහු හෝ ඇය කැලඹීමකට පත් වී සිටිනවා වගේ පෙනෙන්න තිබෙනවා. ඊට පස්සේ දින ගණනාවක නිශ්ශබ්දතාවක් පවතිනවා," යනුවෙන් තානාපතිවරයා කියා සිටියේය.

"බර දම්වැලක්"

ඉහත කී ෆේස්බුක් සටහන තැබීමට පෙර දින රූපවාහිනිය නරඹමින් සිටි බව කී ඔහු "එකපාරටම කෑම කාමරේ පොළොව මතට බර දම්වැලක් වැටෙන ශබ්දය ඇහුණා. මම ඉක්මනට එතනට ගියා. නමුත් කිසි දෙයක් බිම තිබුණේ නැහැ," යනුවෙන් සඳහන් කළේය.

සති කිහිපයකට පෙර තරප්පු පෙළ මත තදින් අඩි තබන සහ හුස්ම ගන්නා හඬක් ඇසුණු බව පවසන තානාපතිවරයා ඒ වෙත ගොස් පරික්ෂා කළත් එහි කිසිවෙකු නොවූ බව කියා සිටියේය.

නිවසේ ගෘහ සේවිකාව ඉහළ මහලට යාම ප්‍රතික්ෂේප කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.

"මේ කතාව ගැන කාට හරි සැකයක් තිබෙනවා නම් ඔවුන්ට රැයක් හෝ දෙකක් මෙහි ගත කරන්න පුළුවන්," යනුවෙන් තානාපති කෙවින් විකර්ස් වැඩිදුරටත් පැවසීය.

2015 වසරේ දී අයර්ලන්තයේ කැනේඩියානු තානාපති පදවියට පත්වීමට ප්‍රථම කෙවින් විකර්ස් කලක් ජාතික පොලිස් සේවයේ නිලධාරියෙකු ලෙස ද පසුව කැනඩා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ද සේවය කළේය.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්