බීලා වැඩිවෙලා -හිටපු අගමැතිට ඡන්දෙ දෙන්න බැරිවෙලා

Image copyright Getty Images
Image caption අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු අගමැති ටෝනි ඇබට්

තමාට පෙර බලයේ සිටි හිටපු අගමැති ටෝනි ඇබට් අධික ලෙස බීමත්ව වෙරි වී සිටි හෙයින් එක්තරා අවස්ථාවක අතිශයින් වැදගත් පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් ඔහුට මග හැරුණ බවට ඔස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් දෝෂාරෝපණය කරයි.

එම පාර්ලිමේන්තු මග හැරීම සිදු වී තිබෙන්නේ 2009 වසරේය.

එම ඉතා තීරණාත්මක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත දිනට පෙරදා රාත්‍රියේ පදමට 'වයින්' පාලනය කළ ටෝනි ඇබට් පසු දින පැවැත්වුන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සහභාගී වීමට අසමත්ව ඇත.

එම අවධියේ ඔස්ට්‍රේලියානු විපක්ෂ නායකයා වූ ඔහු ඡායා කැබිනට් ඇමතිවරයකු ද විය.

ටෝනි ඇබට් විසින් මග හරින ලද්දේ ලෝක මූල්‍ය අර්බුදය උත්සන්නව පැවති වකවානුවේ ආර්ථික උත්තේජනයක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පැවැත්වූ පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් බව දේශපාලන ආරංචි මාර්ග මගින් පැවසෙයි.

එය එම ලෝක මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ප්‍රතිචාරය අන්තර්ගත ඉතාම වැදගත් පනත් කෙටුම්පතක් ලෙස සැලකෙයි.

එබඳු වැදගත් මොහොතක සිදු වූ එම අතීත වැරදීම සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු අගමැති ටෝනි ඇබට් "එය අනුමත කළ නොහැකි සිදුවීමක්" බව පිළිගනියි.

"පාර්ලිමේන්තුව මග හැරීම මිසක් එදා වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ" හිටපු අගමැතිවරයා සිකුරාදා (අගෝස්තු 26) ඔස්ට්‍රේලියානු 3AW ගුවන් විදුලි මධ්‍යස්ථානය සමඟ සාකච්ඡාවක දී සඳහන් කළේය.

Image copyright Getty Images
Image caption 2015 පක්ෂ නායකත්ව පොරයේදී ටෝනි ඇබට් අගමැති මයිකල් ටර්න්බුල් අතින් පරාජය විය

ටෝනි ඇබට් විසින් ද පිළිගන්නා ආකාරයට බීමත්ව සිටි 'ඔහු නැගිටුවා පාර්ලිමේන්තු ඡන්ද විමසීම සඳහා රැගෙන ඒමට ඔහුගේ මන්ත්‍රී සගයන් උත්සාහ දරා ඇතත් ඔහු ආන්බාන් කර ගැනීමට ඔවුන් අසීරු වී' ඇත.

තමා සහ මිතුරන් දෙදෙනක් වයින් බෝතල් කීපයක්ම හිස්කළ බව ටෝනි ඇබට් සිකුරාදා හෙළිදරව් කළේය.

"මම හාන්සි වුනා. උදේ නැගිටිනකම් මම කිසිම දෙයක් දන්නේ නැහැ" හිටපු අගමැතිවරයා තමා මුහුණ දුන් සිද්ධිය විස්තර කළේය.

පාර්ලිමේන්තු ඡන්දයක් යනු ඉතාම වැදගත් අවස්ථාවක් වන හෙයින් ටෝනි ඇබට් ඊට සහභාගී නොවීම කිසිදු ආකාරයකින් පිළිගත හැකි හෝ ප්‍රශංසනීය සිදුවීමක් නොවන බව අගමැති මැල්කම් ටර්න්බුල් කියා සිටියි.

"මේ පුවත ඇසුවාම මම බලාපොරොත්තු සුං වූ තත්වයකට පත්වුනා. බීමත්කම නිසා පාර්ලිමේන්තු ඡන්දයක් සඳහා සහභාගී වීමට නොහැකි වුන මන්ත්‍රීවරයෙක් ගැන මට මතක නැහැ. ඒත් කාරණේ තමයි, ටෝනි දැන් ඒ ගැන පාපොච්චාරණය කිරීම. සිදු වුණේ වරදක් කියල දැන් ඔහු පිළිගන්නවා " අගමැති ටර්න්බුල් පැවසීය.

ඔස්ට්‍රේලියානු ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා 2009 වසරේ පැවති බල අරගලයේ දී මැල්කම් ටර්න්බුල්, ටෝනි ඇබට් අතින් පරාජයට පත් විය.

එහෙත් ටෝනි ඇබට් අගමැති පදවියේ සිටිය දී ඔහු පරාජය කරමින් පක්ෂ නායකත්වය දිනා ගනිමින් අගමැති වීමට මයිකල් ටර්න්බුල් 2015 වසරේ සමත් විය.

ටෝනි ඇබට් වත්මන් ඔස්ට්‍රේලියානු ආණ්ඩුව දැඩිව විවේචනයට ලක් කරයි.

එසේම ඔහු ඔස්ට්‍රේලියාව තුළ සම ලිංගික විවාහය නීතිගත කරනු ලැබීමට එරෙහිව කටයුතු කන දේශපාලනඥයකු වන අතර ටෝනි ඇබට් සහ අගමැති ටර්න්බුල් අතර එම කාරණය අතින් ද විරසක භාවයක් පවතී.

"දැන් අපට තේරෙනවා - ඉදිරි අවුරුදු පනහක් හැටක් තරම් කාලයක් සඳහා ඔස්ට්‍රේලියාවට ඉතාම වැදගත් පනතක් තීන්දු කෙරෙන මොහොතේ ටෝනි නිදාගෙන ඉඳපු බව" එම සිද්ධිය වූ සමයේ ඔස්ට්‍රේලියානු මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා හැටියට කටයුතු කළ වේන් ස්වෝන් (Wayne Swan) පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර