'මුම්බායි' මන්දිරයක් කඩා වැටීමෙන් මරණ හතක්

  • 2017 අගෝස්තු 31
Image caption කඩා වැටුණ ගොඩනැගිල්ල වසර සීයක් පමණ පැරණි වූවකි.

සය මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් හත් දෙනකු මරණයට පත් වූ බව මුම්බායි පොලිසිය පවසයි.

ගොඩනැගිල්ල කඩා වැටුණ අවස්ථාවේ ඒ තුළ හතළිහකට අධික පිරිසක් සිටි බවත් වාර්තා වෙයි.

"හතළිහක් විතර සුන්බුන් අතර හිරවෙලා ඇති කියල හිතනවා.බේරා ගැනීමේ මෙහෙයුමට හතළිස් තුන් දෙනකුගේ කණ්ඩායමක් යොදවල ඉන්නවා" ඉන්දියාවේ ජාතික ආපදා බලකායේ (NDRF) නලධාරියෙක් AFP මාධ්‍ය ජාලයට ප්‍රකාශ කළේය.

බේරා ගැනීමේ නිරත කණ්ඩායම් යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර ගනිමින් කඩා වැටුණ ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කරමින් ඇති බවත් ඉන්දියානු වාර්තා මගින් ප්‍රකාශ වෙයි.

කඩා වැටුණ ඉතා පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට නියමිතව තිබුණ අතර ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායිහි අති ජනාකීර්ණ වීදියක එය පිහිටා තිබුණි.

Image caption ගොඩනැගිලි කඩා වැටීම් ඉන්දියාවෙන් නිතරම මෙන් වාර්තා වෙයි.

ගොඩනැගිලි නීතිය නොතකා කටයුතු කිරීමේ වාර්තාවක් සහිත ඉන්දියාවේ මෙවැනි අනතුරු ආගන්තුක සිදුවීම් නොවේ.

සිව් මහල් මන්දිරයක් කඩා වැටීමෙන් සිදු වූ මරණ දාහතක් පිළිබඳව පසුගිය මාසයේ ඉන්දියාවෙන් වාර්තා විය.

මේ දිනවල ඉන්දියාව මුහුණ දෙන ගංවතුර උවදුරටත් මුම්බායි නගරය ගොදුරු විය.