කෙන්යාවේ ජනපතිවරණ ප්‍රතිඵල අවලංගු කෙරෙයි

  • 2017 සැප්තැම්බර් 1
Image copyright Reuters
Image caption තීන්දුව පිළිගනිමින් අධිකරණ භූමිය අවට රැස්ව සිටින විපක්ෂ ආධාරකරුවන් ප්‍රීතිවන ආකාරය දැක ගත හැක

කෙන්යාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කරනු ලැබීය.

පසුගිය අගෝස්තු මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ දින හැටක් ඇතුළත යළි මැතිවරණයක් පවත්වන ලෙසය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී අක්‍රමිකතා සිදුව ඇති බව ප්‍රකාශයට පත් වූ අතර ඒ අනුව අප්‍රිකානු කලාපයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් අවලංගු කරන ලද පළමු රට බවට කෙන්යාව පත් වේ.

කෙන්යාවේ බලය හොබවන උහුරු කෙන්යාටා වැඩි ඡන්ද දාහතර ලක්ෂයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබිණි.

නමුත් එරට විපක්ෂය පවසන්නේ ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා මැතිවරණ කොමිසමේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇති බවය.

"ඓතිහාසික දිනයක්"

Image copyright Getty Images
Image caption 2013 වසරේ සිට බලය හොබවන උහුරු කෙන්යාටා පසුගිය මාසයේ දී දෙවන වරටත් ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය
Image copyright EPA
Image caption රයිලා ඔඩින්ගා තෙවරක්ම ජනාධිපතිවරණයෙන් පරාජයට පත්ව තිබේ

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක රයිලා ඔඩින්ගා කියා සිටියේ "මෙය කෙන්යාවේ ජනතාවට ඓතිහාසික දිනයක්" යනුවෙනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ඩේවිඩ් මරාගා සඳහන් කළේ අගෝස්තු 08 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුව පවත්වා නොමැති බවය.

තීන්දුව පිළිගනිමින් අධිකරණ භූමිය අවට රැස්ව සිටි විපක්ෂ ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා නැගූහ.

ජනාධිපතිවරණය හමුවේ ආරම්භ වූ උද්ඝෝෂණ හේතුවෙන් 28 දෙනෙකු මරණයට පත් විය.

සබැඳි විෂයයන්

බීබීසී යෙන්