මෝදි ගේ මුදල් නෝට්ටු මාරුව අසාර්ථකයි- හිටපු මහ බැංකු අධිපති

  • 2017 සැප්තැම්බර් 3
Image copyright Getty Images
Image caption කෝටි එකසිය විස්සක් පමණ ජනකායකට අලුත් මුදල් නෝට්ටු සඳහා පෝලිම් ගැසී සිටීමට සිදු විය

ඉහල වටිනාකමක් සහිත මුදල් නෝට්ටු අවලංගු කිරීමට පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඉන්දියානු ආණ්ඩුව ගත් තීන්දුව රටේ ආර්ථිකය ව්‍යාකූල කිරීමට හේතු වූ බව ඉන්දීය මහ බැංකුවේ හිටපු අධිපති රඝුරාම් රාජන් පවසයි.

අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂයේ ආණ්ඩුව රුපියල් පන්සීයේ සහ දහසේ නෝට්ටු අවලංගු කිරීමට පියවර ගන්නා ලද්දේ එය 'කළු සල්ලි' එළියට ගැනීමේ උපාය මාර්ගයක් යයි පවසමිනි.

එහෙත් 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' (Times of India) පුවත්පත සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ හිටපු අධිපති රඝුරාම් රාජන්, එම අරමුණ යහපත් එකක් වූ නමුත් එමගින් ආර්ථික ඵලදායීතාවක් ඇති විනැයි කිව නොහැකි බව සඳහන් කළේය.

රුපියල් පන්සීයේ සහ දහසේ නෝට්ටු මුදල් සංසරණයෙන් ඉවත් කරනු මගින් අප්‍රකාශිත සැඟවූ සල්ලි එළියට එනු ඇත යන්න ඉන්දීය ආණ්ඩුවේ විශ්වාසය විය.

එහෙත් එය ඉන්දියාව පුරා ආර්ථික ව්‍යාකූලත්වයකට මුල් විය.

Image copyright Getty Images
Image caption පරණ නෝට්ටු දී අලුත් නෝට්ටු ලබා ගැනීමේ පෝලිමක්

රුපියල් පන්සීයේ සහ දහසේ මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය රජය එදා හදිසියේ ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව 'හදිසි තත්වයක්' ආසන්නයට පත් වූ බව බටහිර බෙංගාලයේ මහ ඇමතිනිය පැවසුවාය.

එවැනි තත්වයක් තමා කිසිදාක ඉන්දියාව තුළ නොදුටු බව මහ ඇමතිනි මමතා බැනර්ජී ප්‍රකාශ කළාය

පරණ නෝට්ටු වෙනුවට අලුතින් මුද්‍රණය කර ඇති මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට පැය ගණන් බැංකු තුළ පෝලිමේ ගැසීමට සිදු විය.

එහෙත් අලුත් මුදල් නෝට්ටු හිඟ වීමෙන් ඇතැමුන්ට හිස් අතින් ආපසු යාමට සිදු වූ බව 'කොල්කටා'නගරයේ බීබීසී වාර්තාකරු සඳහන් කළේය.

රටේ දූෂණය තුරන් කිරීම සඳහා එවැනි තීරණ ගත යුතු බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබුණි.

නීති විරෝධී ලෙස මුදල් සංචිත සඟවා ගෙන බදු රැහැනින් මිදී සිටින පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට මුදල් නෝට්ටු අවලංගු කිරීම උපකාරීවන බව ඉන්දීය බලධාරීහු කියා සිටියහ.

Image copyright Getty Images
Image caption ඉන්දීය ජනගහනයෙන් හරි අඩකට බැංකු ගිණුම් නොමැත

එහෙත් එම බලාපොරොත්තු ඇතිව ආපසු කැඳවන ලද ඉහල වටිනාකම් සහිත මුදල් නෝට්ටු වලින් 99% කට ආසන්න ප්‍රමාණයක් යළිත් බැංකු ක්‍රමය තුළට එක්ව ඇති බව ඉන්දීය මහ බැංකුව පසුගිය සතියේ නිවේදනය කළේය.

එම මුදල් එලෙස නැවත ව්‍යහාරයට පැමිණිම තුලින් පැරණි මුදල් නෝට්ටු මූල්‍ය සංසරණයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ අසාර්ථකත්වය පෙන්නුම් කෙරෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ වසරේ ජූනි මාසයෙන් නිම වූ හාර මාසය ඇතුළත ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 5.7% මට්ටමක විය.

එය අවුරුදු තුනකට අධික කාලයක් ඇතුළත ඉන්දියාවේ පෙන්නුම් කෙරුණ පහළම ආර්ථික වර්ධන වේගයයි.

Image copyright Getty Images
Image caption ආපසු කැඳවූ පරණ නෝට්ටු යළිත් බැංකු ක්‍රමය තුළ සංසරණය වෙන බවට වාර්තා