සරණක් නොදුටු රෝහින්ග්‍යා අනාථයෝ

Rohingya families are making their way across the Naf River into Bangladesh Image copyright AFP

මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ පවතින ගැටුම් හේතුවෙන් බංග්ලාදේශයට පලා යන රෝහින්ග්‍යා අනාථයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.

ගතවගිය පැය 24 ඇතුළත පමණක් තවත් රෝහින්ග්‍යා අනාථයන් 35,000 ක් බංග්ලාදේශයට ඇතුළු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව පසුගිය අගෝස්තු 25 වෙනි දින සිට 123,000 කට වැඩි පිරිසක් මියන්මාරයෙන් පලා ගොස් තිබේ.

රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් විසින් රඛයින් ප්‍රාන්තයේ පොලිස් ස්ථානවලට එල්ල කරන ලද ප්‍රහාර මාලාවකින් අනතුරුව මියන්මාර ආරක්ෂක හමුදා ප්‍රදේශයේ අලුත් මෙහෙයුම් දියත් කළේය.

ඒ සමගම ගැටුම්වලට කොටු වූ රෝහින්ග්‍යා ජනතාව සිය ගම් බිම් අත්හැර පලායාමට පටන් ගත්හ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"රෝහින්ග්‍යා" සහ "රෝහින්ජා" ගැන මේ කරුණු දැන සිටියාද?

ආරක්ෂක හමුදා සහ ප්‍රදේශයේ බෞද්ධයන් සිය ගම්මානවලට කඩා වැදී සාමාන්‍ය වැසියන්ට පහර දෙමින්, ඔවුන් ඝාතනය කරමින් සිටින බව පලා එන අනාථයෝ පවසති.

තමන් සිය ගම්මානවලින් පලවා හැරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බව ඔවුහු පවසති.

එහෙත් ආරක්ෂක හමුදාව පවසන්නේ සාමාන්‍ය වැසියන්ට ප්‍රහාර එල්ල කරන රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් පලවා හැරීම පිණිස මෙහෙයුමක් දියත්කර ඇති බවය.

බීබීසී බෙංගාලි භාෂා සේවය සහ බුරුම භාෂා සේවය, සිය වාර්තාකරුවන්ගේ වාර්තා ද ඇසුරින් භූමියේ පවතින තත්වය පිළිබඳව දිනපතාම වාර්තා කරති.

රෝහින්ග්‍යාවරුන් සම්බන්ධයෙන් දෙරට පවතින ආකල්ප සහ මතු වී තිබෙන අලුත්ම තත්වය පිළිබඳව බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා සහ බුරුම භාෂා සේවයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෝ වින් තාන් මෙසේ පැහැදිලි කළහ.

"රෝහින්ග්‍යා සහ රෝහින්ජා"

"බංග්ලාදේශයේ ජනතාව රෝහින්ග්‍යාවරු හඳුන්වන්නේ රඛයින් ප්‍රාන්තයෙන් ආපු බුරුම ජනතාව කියල," බීබීසී බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා පවසයි.

"රඛයින් ප්‍රාන්තය කළින් හැඳින්වුනේ අරකාන් ප්‍රාන්තය කියල. අරකාන් ප්‍රාන්තය කාලයක් ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණ. තවත් කාලයක් බුරුම අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණ. ඒ යුගයේ සිට අරකාන් ප්‍රාන්තයට සංක්‍රමණය වුනු බෙංගාලි ජාතික ජනතාව ඒ ප්‍රදේශවල පදිංචි වෙලා රෝහින්ග්‍යා ජනතාව බවට පත්වුණා," සබීර් මුස්තාෆා විස්තර කරයි.

Image copyright Reuters

"ඔවුන් තවදුරටත් බෙංගාලි ජාතිකයෝ නෙවෙයි. ඔවුන් රඛයින් ප්‍රාන්තයෙන් පැවත එන්නන් නොවන නිසා ඔවුන් රඛයින් වාසීනුත් නෙවෙයි. තමන් අරකාන්වාසීන් හැටියට දකින ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ රෝහින්ග්‍යාවරුන් කියල."

කෙසේ නමුත් රෝහින්ග්‍යා ජනතාව පිළිබඳව බුරුමයේ පවතින්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ආකල්පයකි.

මියන්මාරයේ ඔවුන් හඳුන්වන්නේ "රෝහින්ග්‍යා" ලෙස නොව "රෝහින්ජා" ජනතාව ලෙසිනි.

"ඇත්තටම බුරුම භාෂාවෙන් ගත්තොත් රෝහින්ජා කියන එකේ කිසිම තේරුමක් නෑ," බීබීසී බුරුම භාෂා සේවයේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක සෝ වින් තාන් පවසයි.

"රෝහින්ජා කියන්නේ බංග්ලාදේශ දේශසීමාවේ ජීවත්වෙන ජන කණ්ඩායමක් අලුතෙන් හදාගත්ත නමක් කියන එක තමයි මියන්මාර ජනතාවගේ සහ ආණ්ඩුවේ ස්ථාවරය වෙලා තියෙන්නේ. ඔවුන්ට තමන්ගේම අනන්‍යතාවක් අවශ්‍ය වෙලා ඔවුන් මේ රෝහින්ජා කියන නම දාගෙන තියෙනවා," සෝ වින් තාන් විස්තර කළේය.

"කොහොම වුනත් රෝහින්ජා කියන්නේ වෙනම ජන වර්ගයක් කියල බුරුමය පිළිගන්නේ නෑ. බුරුමයේ ඔවුන් හඳුන්වන්නේ බෙංගාලි ජනතාව කියල."

රෝහින්ග්‍යාවරුන්ගේ භාෂාවේ බෙංගාලි භාෂාවේ ඌරුවක් තිබෙන බව පිළිගන්නා සබීර් මුස්තාෆා ඔවුන් සිය භාෂාවෙන් පළ කරන අදහස් ඇතැම් බෙංගාලි ජාතිකයන්ට වැටහෙන බවත් සඳහන් කළේය.

"ඒ නිසා ඔවුන් බංග්ලාදේශ ජාතිකයන් කියල බංග්ලාදේශයේ ජනතාව පිළිගන්නේ නෑ. බංග්ලාදේශ ජාතිකයන්ට ඔවුන් මියන්මාර පුරවැසියන් වන රෝහින්ග්‍යා ජාතිකයන්."

කෙසේ නමුත් මියන්මාර බලධාරීන් එය ප්‍රතික්ෂේප කරන බව බීබීසී බුරුම භාෂා සේවයේ සෝ වින් තාන් පෙන්වා දෙයි.

"ජනවර්ගය ගැන තියෙන මතභේදය උඩ, මියන්මාරයේ ඔවුන් හඳුන්වන්නේ බංග්ලාදේශයේ සිට පැමිණි සංක්‍රමණිකයන් කියල. ඒ නිසා මියන්මාරයේ ඔවුන් හඳුන්වන්නේ බෙංගාලි ජනතාව හැටියට. "

ඔවුන් "රෝහින්ජාවරුන්" ලෙසින් පිළිගතහොත්, ඒ සමගම ඔවුන් සිය රටේ වෙසෙන ජනවර්ගයක් ලෙසින් පිළිගැනීමට සිදුවීම මියන්මාර බලධාරීන් මුහුණ දී සිටින ගැටලුව බව ද සෝ වින් තාන් පැහැදිලි කළේය.

"ඒ නිසා ඔවුන්ට රෝහින්ජාවරු කියල හඳුන්වන්න එපා කියල ඕන් සාන් සුචී ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනව."

රෝහින්ග්‍යාවරුන් සිය රටේ පුරවැසියන් ලෙසින් පිළි නොගන්නා නමුත් සහෝදර මුස්ලිම් ජනතාවකට අත් වී තිබෙන ඉරණම පිළිබඳව බංග්ලාදේශ වැසියන් සානුකම්පිත ආකල්පයක් දරන බව ද බීබීසී බෙංගාලි භාෂා සේවයේ සංස්කාරක සබීර් මුස්තාෆා පෙන්වා දෙයි.

බුරුමයේ ශ්‍රී ලාංකිකයෝ

"ඒ වගේම අමතක කරන්න එපා බංග්ලාදේශ වැසියනුත් කාලයක් අනාථයන් වෙලා හිටපු බව. 1971 දී පාකිස්තානයත් එක්ක යුද්දෙ තිබුණ වෙලාවේ කෝටියකට වැඩිය බෙංගාලි ජාතිකයෝ අනාථයෝ විදියට ඉන්දියාවට පලා ගියා. බංග්ලාදේශ ජනතාවට ඒකත් අමතක වෙලා නැහැ."

කෙසේ වෙතත් ඔවුන් යළි මියන්මාරය බලා ගොස් සමාන අයිතිවාසිකම් සහිත පුරවැසියන් ලෙසින් දිවි ගෙවනු දැකීම බංග්ලාදේශ ජනතාවගේ අභිලාශය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රඛයින් ප්‍රාන්තයේ මතු වී තිබෙන අර්බුදකාරී වාතාවරණයෙන් මියන්මාරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කිසියම් බලපෑමක් සිදු වී තිබෙන්නේ දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී එහි සිටින ශ්‍රී ලංකා තානාපති කේඩබ්එන්ඩී කරුණාරත්න කියා සිටියේ, කිසිම ශ්‍රී ලාංකිකයෙක් රඛයින් ප්‍රාන්තයේ වාසය නොකරන බවය.

මියන්මාරයේ වාසය කරන්නේ ශ්‍රී ලාංකිකයන් 400 කට ආසන්න පිරිසක් පමණක් බව සඳහන් කළ තානාපතිවරයා, රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් ඒ කිසිවෙකුටත් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර