රෝහින්ග්‍යා අර්බුදය; පළා යමින් සිටි දරුවන් දියේ ගිලී මියයති

  • 2017 සැප්තැම්බර් 6
Image caption යුද්ධය නිසා පළා යන රෝහින්ග්‍යා දරුවෙක්

මියන්මාරයේ සිට බංග්ලාදේශයට පැමිණෙමින් සිටි රෝහින්ග්‍යා සරණාගතයන් අතර සිටි ළමුන් පස් දෙනකුවත් දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව බංග්ලාදේශ් දේශසීමා ආරක්ෂකයෝ පවසති.

බෝට්ටු වලින් පැමිණෙමින් සිටි රෝහින්ග්‍යා කණ්ඩායමක් අතර සිටි එම දරුවන් ඔවුන් ගමන් ගනිමින් සිටි බෝට්ටු 'නාෆ්' (Naf) ගං මෝයේදී දියබත් වීමෙන් මරණයට පත්ව ඇති බවත් ඔවුහු කියා සිටිති.

'නාෆ්' (Naf) ගංගාව ගලා බසින්නේ මියන්මාරයේ 'රඛයින්' ප්‍රාන්තයේ දේශ සීමාව අසලිනි.

එම ළමා මරණවලට අමතරව තවත් විපත් වාර්තා විය හැකි බවටත් බිය සැක පළ වෙමින් පවතී.

එකී අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා නිලධාරීන් අදාළ ප්‍රදේශය කරා ගමන් ගනිමින් සිටින බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කරයි.

මේ අතර ප්‍රකාශයක් කරන මියන්මාරයේ නිල නොවන පාලිකා අවුන් සාන් සුචි, ඇයගේ වචනයෙන් සඳහන් කළ පරිදි 'රඛයින් පළාතේ අර්බුදය සාවද්‍ය තොරුතුරු පැතිර යාම මගින් විකෘති භාවයට පත්ව ඇතැයි' කියා සිටියාය.

එහෙත් දස දහස් ගණනක් රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව දේශ සීමාව ඔස්සේ බංග්ලාදේශයට පැන ගනිමින් සිටින්නේ මියන්මාර් හමුදාව විසින් කැරලිකරුවන්ට එරෙහිව දරුණු ප්‍රහාර එල්ල කරමින් ඇති බව පවසමිනි.

Image copyright AFP/GETTY
Image caption අවුන් සාන් සුචි අර්බුදයේ වගකීම ව්‍යාජ පුවත්වලට පවරයි

ත්‍රස්තවාදීන්ගේ අභිලාෂයන්ට උඩගෙඩි දෙන අරමුණින් පතුරුවා හරින ව්‍යාජ ප්‍රවෘත්ති මගින් රටේ ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්වයක් අවුළුවා ලමින් ඇති බව අවුන් සාන් සුචි ගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

එම නිවේදනය නිකුත් කෙරුණේ මියන්මාරයේ බලවත්ම කාන්තාව එරට සංචාරයක නිරත වෙමින් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවයි.

දෙරට අතර දේශසීමාව අසල එක් කලාපයක බිම් බෝම්බ ඇටවීම සම්බන්ධයෙන් මියන්මාරයට එරෙහිව නිල විරෝධය පළ කිරීමට බංග්ලාදේශ් බලධාරීන් පියවර ගනිමින් ඇතැයි රොයිටර් පුවත් සේවය මේ අතර වාර්තා කරයි.

මෙයින් දින දෙකකට පෙර එම කලාපයෙන් පිපිරීම් හඬ ඇසුන බවක් ද ප්‍රකාශයට පත්ව ඈත.

Image caption රෝහින්ග්‍යා අනාථයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර