පොලිසියට වැඩ වැඩිකළ සැකකාරියක්

  • 2017 සැප්තැම්බර් 8

වෙළෙඳසලකින් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් පොලිසියේ ග්‍රහණයෙන් සුක්ෂමව ගැලවී ගිය අයුරු දැක්වෙන දර්ශන පෙළක් පසුගියදා නිකුත් කෙරිණි.

එම සිදුවීම වාර්තාවූයේ ඇමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයෙනි.

ටෝෂා ස්පොන්ස්ලර් නම්වූ කාන්තාව අත්අඩංගුවට ගත් පොලිසිය ඇයව සිය රථයේ පිටුපස අසුනේ රැදවුයේ දෑතට විලංගු ලෑමෙන් ද අනතුරුවය.

ඉන් පසු ටෝෂා ගේ බෑගය පිරික්සීමේ යෙදුනු පොලිස් නිලධාරීන්ට රිය තුළ සිදුවන දේ ගැන කිසිදු අවබෝධයක් නොවිණි.

ඔවුන්ට රහසේ ක්‍රියාත්මක වූ ටෝෂා ආරක්ෂක පටි ඉවත්කරගත්තා පමණක් නොව සිය දෑතේ වූ මාංචු කුට්ටම ද ගලවාගන්නට සමත්වූවාය.

එතෙකින් නොනැවතුණු ඇය ආසන අතරින් රිංගා රියදුරු අසුනට පැන රථය පදවමින් වහා පළා යන්නට වුවාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පොලිසිය අන්දමන්ද කළ සැකකාරියක්

සිදුවූ දෙයින් වික්ෂිප්ත වූ පොලිස් නිලධාරීහු සිය රථවලින් ඇයව හඹා යන්නට වූහ. පැයට සැතපුම් 100ක පමණ වේගයෙන් රිය ධාවනය කළ ටෝෂා ලුහුබැඳීම විනාඩි 20ක පමණ කාලයක් පැවති අතර පසුව ඇයට රථය හසුරුවා ගැනීම අපහසු විණි.

ඒ අනුව රථයේ පාලනය ගිලිහී යාමෙන් අනතුරුව ටෝෂා කොටු කරගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.

පොලිසිය පැවසුවේ රිය තුළ වූ ගිනි අවියක් (shotgun) සියතට ගැනීමට ඇය උත්සාහ කළ බවකි.

කෙසේවෙතත්, ප්‍රතිකාර ලැබීමට ඇති අයිතිය ගැන අවධානය යොමු කිරීමෙන් අනතුරුව පළාතේ සිරමැදිරිය වෙත ඇයව ගෙන යන ලදී.

නමුත් එය එතෙකින් නිමාවට පත් නොවීය. සිදුවුයේ පොලිස් නිලධාරීන්ට තවත් වැඩ වැඩි වීමකි.

ඒ සිය පොලිස් රථ තුළ අමතර බෙදා වෙන්කිරීමක යෙදීමටය.