රොහින්ග්‍යා කැරලිකරුවන්ගෙන් සටන් විරාමයක්

  • 2017 සැප්තැම්බර් 10
Image copyright Reuters
Image caption බොහෝ රෝහින්ග්‍යා මුස්ලිමුන් බංග්ලාදේශයට ඇතුල් වී තිබෙන්නේ වනාන්තරය සහ කඳු මිටියාවත් තරණය කරමින් පා ගමනිනි

ම්යන්මාරයේ රඛායින් ප්‍රාන්තයේ හටගෙන ඇති මානවීය අර්බුදය සමනය කිරීමේ අටියෙන් රෝහින්ග්‍යා මුස්ලිම් කැරලිකරුවෝ ඒකපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරති.

මාසයක කාල සීමාවකට පමණක් බලපැවැත්වෙන මෙම සටන් විරාමය ඉරිදා පටන් (සැප්තැම්බර් 10) ක්‍රියාත්මක වනු ඇති බව ම්යන්මාරයේ 'අරාකාන් රෝහින්ග්‍යා හමුදාව' නිවේදනය කළේය.

මෙම කාල සීමාව තුළ අවි බිම තබන ලෙසට ඔවුහු ම්යන්මාරයේ යුද හමුදාවෙන් ද ඉල්ලා සිටිති.

'අරාකාන් රෝහින්ග්‍යා හමුදාව' අගෝස්තු 25 වැනිදා පොලිසියට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ම්යන්මාරයේ යුද හමුදාවෙන් දරුණු ප්‍රතිප්‍රහාර එල්ල විය.

මෙම ප්‍රහාර හමුවේ දිවි බේරා ගැනීම සඳහා රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් තුන්ලක්ෂයකට ආසන්න පිරිසක් දේශ සීමාව හරහා බංග්ලාදේශයට පලා ගොස් ඇති බව පැවසේ.

ඔවුනට මානවීය ආධාර සැපයීම සඳහා ඩොලර් මිලියන 77ක් පමණ කඩිනමින් අවශ්‍යව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Image copyright AFP
Image caption අගෝස්තු 25 වැනිදා පොලිසියට දැඩි ප්‍රහාර එල්ල විය

බංග්ලාදේශයට පලා ගිය යුද අනාථයන්ට ආහාර, පානීය ජලය සහ සනීපාරක්ෂක සේවා අත්‍යවශ්‍යව පවතින බව එක්සත් ජාතීන් ප්‍රකාශ කළේය.

රඛයින් ප්‍රාන්තයේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පවසන්නේ ම්යන්මාරයේ හමුදාව සහ බෞද්ධයන් තම ගම්මාන ගිනි තබමින්, දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බවය.

නමුත් එම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් ම්යන්මාරයේ බලධාරීන් පවසන්නේ රෝහින්ග්‍යා "ත්‍රස්තවාදීන්ට" එරෙහිව තම හමුදා ප්‍රහාර එල්ල කරන බවය.

'අරාකාන් රෝහින්ග්‍යා හමුදාව' ප්‍රකාශයට පත් කළ සටන් විරාමය පිළිබඳව ම්යන්මාරයේ යුද හමුදාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

Image copyright EPA
Image caption රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් පවසන්නේ ම්යන්මාරයේ හමුදාව සහ බෞද්ධයන් තම ගම්මාන ගිනි තබමින්, දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින බවය

දිවි බේරා ගැනීම සඳහා බංග්ලාදේශ භූමියට පළාගිය දහස් ගණනක් රෝහින්ග්‍යා ජනතාව මාර්ග දෙපස පෙළ ගැසී කුසට අහරක් අයදිමින් සිටින බව ආධාර සපයන ආයතන පවසති.

ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි එක් පුද්ගලයෙකු කුසගින්න දරා ගත නොහැකිව සිහිසුන්ව ඇදවැටුණු ආකාරය තමා දුටු බව AP පුවත් සේවයේ වාර්තාකරුවෙක් පැවසීය.

බොහෝ රෝහින්ග්‍යා මුස්ලිමුන් බංග්ලාදේශයට ඇතුල් වී තිබෙන්නේ වනාන්තරය සහ කඳු මිටියාවත් තරණය කරමින් පා ගමනිනි.

ඒ අතර තවත් කොටසක් බෙංගාල බොක්ක ඔස්සේ බෝට්ටුවලින් ගෙන එනු ලැබ ඇත.

විශාල ජන සංඛ්‍යාවක් ලඟා වීමත් සමඟ බංග්ලාදේශ් භූමියේ ඉදි කෙරුණ තාවකාලික අනාථ කඳවුරු මිනිසුන්ගෙන් පිරී ඉතිරී යමින් ඇති බවත් වාර්තා වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර