පෙට්‍රල් සහ ඩීසල් වාහන: මහා පෙරැළියක සලකුණු

  • 2017 සැප්තැම්බර් 11
Image copyright Getty Images
Image caption පසුගිය වසර තුළ පමණක් මෝටර් රථ මිලියන 28ක් චීනයෙන්

ඩීසල් සහ පෙට්‍රල් භාවිතයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ සහ වෑන් රථ නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කිරීමට චීනය සැලසුම් කරයි.

මෝටර් රථ සඳහා ලොව විශාලතම වෙළඳපොළ පවතින චීනයේ, අදාළ විෂයභාර නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ මෙම තහනම සඳහා අවශ්‍ය සමීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවය.

කෙසේ නමුත් පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ තහනම ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් පිළිබඳව ඔහු සඳහනක් කර නොමැත.

"මෙම ක්‍රියාමාර්ග මගින් අපේ මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධනය කෙරෙහි විශාල වෙනස්කම් ඇති කරවයි" යනුවෙන් නියෝජ්‍ය ඇමති ෂින් ග්වෝබින් චීනයේ නිල පුවත් සේවය වන ෂින්හුවා වෙත ප්‍රකාශ කර තිබේ.

Image copyright Getty Images
Image caption වොල්වෝ මෝටර් රථ වසර 2019 පටන් විදුලි බලයෙන්

චීනය පසුගිය වසර තුළ පමණක් මෝටර් රථ මිලියන 28ක් නිෂ්පාදනය කර ඇති අතර එය ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයෙන් තුනෙන් එකකි.

වායු දූෂණය අවම කිරීමේ අරමුණින් වසර 2040 වනවිට පෙට්‍රල් සහ ඩීසල් වාහන තහනම් කිරීම සඳහා සැලසුම් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය දැනටමත් නිවේදනය කර ඇත.

චීන හිමිකාරිත්වය යටතේ පවතින වොල්වෝ මෝටර් රථ සමාගම පසුගිය ජූලි මාසයේදී ප්‍රකාශ කර සිටියේ වසර 2019 පටන් තම මෝටර් රථ සඳහා විදුලි බලයෙන් ක්‍රියා කෙරෙන එන්ජින් සවි කෙරෙන බවය.

වසර 2025 වන විට විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ දසලක්‍ෂයක් අලෙවි කිරීම වොල්වෝ සමාගමේ ඉලක්කය වී තිබේ.

වෙනත් මෝටර් රථ සමාගම් වන රෙනෝල්ට් - නිසාන්, ෆෝර්ඩ්, සහ ජෙනරල් මෝටර්ස් සැලසුම් කර ඇත්තේ විදුලි බලයෙන් දිවෙන මෝටර් රථ චීනය තුළ නිෂ්පාදනය කිරීමට ය.

මෙම වෙනස්කම් හමුවේ මෝටර් රථ වෙළඳපොළ තුළ "කැළඹීම් සහගත කාලයක්" නිර්මාණය වනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍ය ෂින් ග්වෝබින් අනාවැකි පළ කළේය.

පෙට්‍රල් සහ ඩීසල් මෝටර් රථ තහනමක් ක්‍රියාත්මක වුවහොත් චීනයේ ඛනිජ තෙල් ඉල්ලුම ද පහළ වැටෙනු ඇත.

එක්සත් ජනපදයට පසුව ඛනිජ තෙල් සඳහා ලොව දෙවැනි විශාලතම ඉල්ලුම පවතින්නේ චීනයෙනි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර