මාල දිවයිනේ පනහකට අධික නීතිවේදීන්ගේ සේවා තහනම්

  • 2017 සැප්තැම්බර් 11
Image copyright Getty Images
Image caption මාල දිවයින් ජනාධිපති අබ්දුල් යමීන්

මාල දිවයින් බලධාරීන් විසින් පනස් දෙනකුට අධික නීතිවේදීන්ගේ සේවා තහනම් කරනු ලැබ ඇත.

රටින් බැහැරව සිටින හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු මාල දිවයින් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන්ගේ සේවා අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

අධිකරණය කටයුතු කරන ආකාරය දෝෂ දර්ශනයට ලක් කරන එම නීතිවේදීන් කණ්ඩායම 'රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන මෙන්' ඉල්ලා සිටිමින් නීතිපතිවරයා වෙත පෙත්සමක් භාර දී ඇත.

මේ අතර මාල දිවයින් සමූහාණ්ඩුවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරමින්, එවැනි පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීම නීතියට පටහැණි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එය 'කුමන්ත්‍රණ ප්‍රයත්නයක්' හැටියට සලකන බවත් කියා සිටියි.

Image caption හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් අත්අඩංගුවට ගත් ආකාරය

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් අයිතිවාසිකම් මර්දනය කරන බවට විපක්ෂය ජනාධිපති අබ්දුල් යමීන් පාලනයට චෝදනා කරයි.

එම විපක්ෂ කණ්ඩායම් සහ ජනාධිපතිවරයාගේ ආධාර කරුවන් අතර පවතින ගැටුම්කාරී තත්වය පෙන්නුම් කෙරෙන අලුත්ම සිද්ධිය නීතිවේදීන් විශාල පිරිසක සේවා තහනම් කරනු ලැබීම යයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මේ වසරේ ජූලි මාසයේ අග භාගයේ මාල දිවයින් විපක්ෂයේ දේශපාලනඥයන් සහ යුද හමුදාව අතර ගැටුමක් ඇති විය.

Image copyright Getty Images
Image caption විපක්ෂයේ ක්‍රියාධාරිනියක් පොලිසියට විරෝධය පළකළ අවස්ථාවක්

මාල දිවයින් පාර්ලිමේන්තුවේ කතානායක අබ්දුල්ලා මෂීස් මොහොමඩ්ට එරෙහිව ඉදිරිපත් කර තිබුණ විශ්වාසභංග යෝජනාවක් සඳහා ඡන්දය විමසීමට නියමිතව තිබියදී ජනාධිපති අබ්දුල් යමීන් යුද හමුදාව යොදවා පාර්ලිමේන්තුව වසා දැමීමත් සමඟ එම ජූලි මස ගැටුම් වාර්තා විය.