තුර්කියට රුසියාවෙන් ඩොලර් කෝටි 250 ක මිසයිල් ආරක්ෂණ පද්ධතියක්

  • 2017 සැප්තැම්බර් 13
Image copyright Reuters
Image caption තුර්කි ජනාධිපති රෙජෙප් තය්යිප් එර්දොවාන් සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතීන්

තුර්කිය තම හමුදා සඳහා S 400 වර්ගයේ ගුවන් යානා නාශක මිසයිල රුසියාවෙන් මිල දී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා ඇත.

ඩොලර් කෝටි දෙසිය පනහක පමණ යයි සැලකෙන එම මිසයිල ගනුදෙනුවට අදාළ මූලික ගෙවීමක් දැනටමත් සිදුකර අවසන් බව තුර්කි ජනාධිපති රෙජෙප් තය්යිප් එර්දොවාන් (Recep Tayyip Erdogan) පවසයි.

'නේටෝ' යුද හවුලේ සාමාජික රටක් වන තුර්කිය විවාදයට තුඩු දෙන පියවරක් ගනිමින් රුසියාවෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් මිල දී ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව විරෝධය පළ කර ඇත.

තුර්කිය 'නේටෝ' යුද හවුලේ දෙවැනි විශාලතම යුද හමුදාව සහිත රාජ්‍යයයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය සමඟ සිය සබඳතා පසුගිය අවධිය තුළ අමිහිරි අතට හැරීමත් සමඟ තුර්කිය රුසියාවට ලංවන්නට විය.

එක්සත් ජනපදය විසින් 'YPG' සිරියානු කුර්දි කැරලිකරුවන්ට යුද ආධාර දෙනු ලැබීම සම්බන්ධයෙන් තුර්කියේ එර්දොවාන් පාලනය විරෝධය පළ කරයි.

එම සිරියානු කුර්දි කැරලිකරුවන් සහ තුර්කි කුර්දි කැරලිකරුවන් අතර සම්බන්ධතා පැවැත්ම ඊට හේතුවයි.

Image copyright AFP
Image caption සිරියාවේ පවත්වා ගෙන යන 'Hmeimim' රුසියානු ගුවන් කඳවුරේ මිසයිල් ආරක්ෂණ පද්ධතිය

S 40 මිසයිලයකින් කිලෝමීටර් 400 ක දුර ප්‍රහාරයක් එල්ල කළ හැකි අතර එකවර ඉලක්ක අසූවකට පහර දිය හැකි බව රුසියාව පවසයි.

සිරියානු-තුර්කි දේශ සීමාවේ දී තුර්කිය විසින් 2015 දෙසැම්බර් මාසයේ රුසියානු Su -24 යානයක් වෙඩි තබා බිම හෙළනු ලැබීමෙන් පසු රුසියාව S 400 මිසයිල සිරියාවේ 'ලටකියා' (Latakia) අසල ස්ථානගත කරනු ලැබ ඇත.

එම සිද්ධියත් සමඟ රුසියාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ආරම්භ වුනත් රුසියානු ජනාධිපති පුතින් සමඟ පැවති එම අරෝව සමනය කරමින් සමාදාන වීමට ජනාධිපති එර්දොවාන් පසුව කටයුතු කළේය.

ජනාධිපති පුතින්ගේ යුද උපදේශකයකු වන ව්ලදිමීර් කොෂින් අදහස් දක්වමින්, රුසියාව තුර්කිය සමඟ පවත්වන සබඳතා ඔවුන්ගේ "මූලෝපායී අභිලාෂයන් සමඟ සමපාත වන" බව කියා සිටියේය.

"මේ තත්වය යටතේ තුර්කියට බලපෑම් කිරීම සඳහා යත්න දරන ඇතැම් බටහිර රටවල ප්‍රතිචාරය කුමක්ද කියල අපට දැක ගන්න පුළුවන්" ව්ලදිමීර් කොෂින් පවසයි.

මේ අතර එම බටහිර රටවල් මොනවාදැයි නමින් සඳහන් නොකරමින් අදහස් දැක්වූ ජනාධිපති එර්දොවාන්, ඇතැම් බටහිර "හිතවතුන්" නියමුවන් රහිත ප්‍රහාරක යානා වෙනුවෙන් මහා මුදල් සම්භාරයක් ඉල්ලා සිටින බව අප්‍රසාදයෙන් යුතුව සඳහන් කළේ යයි ඔහු උපුටා දක්වන තුර්කි පුවත්පතක් (Hurriyet) වාර්තා කරයි.

බටහිර යානාවන්හි මිල අධික හෙයින් තුර්කිය විසින් වැඩි දියුණු කරන ලද නියමුවන් රහිත ප්‍රහාරක යානා යොදා ගනිමින් 'YPG' සිරියානු කුර්දි කැරලිකරුවන් අනූවක් පසුගිය සතියේ මරා දමන ලද බවත් ජනාධිපති එර්දොවාන් පවසයි.

"අපේ රටේ රැකවරණය වෙනුවෙන් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අපට පැවරෙනවා" තුර්කි නායකයා අවධාරණය කරයි.

තුර්කිය රුසියානු මිසයිල මිලට ගැනීමට පියවර ගනු ලැබ තිබෙන්නේ ඇමෙරිකාව සහ ජර්මනිය ඔවුන්ගේ මිසයිල ආරක්ෂණ පද්ධතීන් තුර්කියෙන් ඉවත් කර ගනු ලැබීමෙන් පසුව බවත් ප්‍රකාශ වෙයි.

Image caption රුසියානු මිසයිල පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය මෙම සිතියමෙහි දැක්වෙයි

තුර්කියේ ස්ථානගත කරනු ලැබ තිබුණ මිසයිල ආරක්ෂණ පලිහ (Patriot air defence batteries) එක්සත් ජනපදය සහ ජර්මනිය ඉවත් කර ගැනීමත් සමඟ අන්කාරා පාලනය රුසියාවත් සමඟ ඇතිකර ගත් මිසයිල ගිවිසුම පැහැදිලිවම 'නේටෝ' ආධාර බැහැර කිරීමක් යයි තුර්කියේ සිටින බීබීසී වාර්තාකරු මාර්ක් ලවෙන් (Mark Lowen) පවසයි.

යුරෝපා හවුල සමඟ පවත්වන සබඳතා භාර තුර්කි ඇමති ඕමාට් චෙලික් මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්, මිසයිල ඉවත් කර ගැනීමට ඇමෙරිකාව සහ ජර්මනිය ගත් තීන්දුව යුරෝපා හවුලේ අපේක්ෂාවන්ට පටහැණි ප්‍රතිඵල අත් කරනු ඇතැයි කියා සිටියේය.

උද්ගත වී ඇති තත්වය යටතේ ISIS සහ PKK කැරලිකරුවන් අද යුරෝපයේ නගරවල නිදහසේ සැරිසරන තත්වයක් උද්ගතව ඇති බවත් තුර්කි ඇමතිවරයා පවසයි.

'Patriot' මිසයිල ආරක්ෂණ පලිහ (Patriot air defence batteries) තුර්කි -සිරියානු දේශසීමාවේ ස්ථානගත කරන මෙන් තුර්කිය 2015 වසරේ නේටෝ සගයන්ගෙන් ඉල්ලීමක් කර තිබුණි.

මේ අතර නම සඳහන් නොකළ නේටෝ නිලධාරියෙක් AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින්, 'නේටෝ' රටවල් දැනට S-400 මිසයිල් පද්ධතිය ක්‍රියාවට නංවන්නේ නැතැයි කියා තිබුණි.

"තුර්කිය විසින් සිදු කරනු ලබන මිසයිල් මිල දී ගැනීම පිළිබඳව නෙටෝවට දැනුම් දී නොමැති" බවත් ඔවුහු පවසති.

2016 අසාර්ථක කුමන්ත්‍රණය පිටුපස සිටින බවට අන්කාරා බලධාරීන් විසින් චෝදනා කරනු ලබන ඵතුල්ලා ගුලේන් (Fethullah Gulen) තමන්ට භාර දෙන මෙන් තුර්කිය ඉල්ලා සිටියත් එක්සත් ජනපදය එම ඉල්ලීම ඉටු නොකිරීම දෙරට අතර සබඳතා අමිහිරි වීමට හේතුවක් වී ඇත.

එසේම ජර්මන් - තුර්කි සබඳතා ද පිරිහෙමින් පවතී.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර