ලොව වයස්ගතම යෝධ පැන්ඩා සමු ගනී

"බාසි චීනයට මෙන්ම ලෝකයට, මිත්‍රත්වයේ සුරදූතිය වුනා"

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

"බාසි චීනයට මෙන්ම ලෝකයට, මිත්‍රත්වයේ සුරදූතිය වුනා"

මිනිස් භාරයේ වැඩුණු, ලොව වයස්ගතම යෝධ පැන්ඩා මරණයට පත් වූ බව චීනයෙන් වාර්තා වෙයි.

චීනයේ අග්නිදිග කලාපයේ ෆූජෝ ප්‍රාන්තයේ ජීවත් වූ 'බාසි' නම් වූ මෙම යෝධ පැන්ඩා මිය යන විට 37 හැවිරිදි වූවාය.

තම පරම්පරාවේ අන් සියලු පැන්ඩාවන්ට වඩා වැඩි කලක් ජීවත් වූ බාසිගේ 37 වසරක ආයු කාලය මිනිස් ආයුෂ සමඟ සංසන්දනය කළහොත් ඇය වසර සියය ඉක්මවූ තැනැත්තියකට සම කළ හැකිය.

ඇය බාසි නමින් අමතනු ලැබුවේ චීනයේ බාසි මිටියාවතේ සිටිය දී මුදවා ගනු ලැබූ හෙයිනි. එවකට ඇය වයස අවුරුදු හතරක හෝ පහක පැන්ඩා පැටවෙකි.

සජීවී විකාශනය

චීනයේ අනන්‍යතාව සනිටුහන් කෙරෙන ජාතික සංකේතයක් වශයෙන් සැලකෙන යෝධ පැන්ඩාවන් එරට සංරක්ෂිත සත්වයෙකි.

නමුත් දශක කිහිපයක් තිස්සේ කරගෙන ගිය සංරක්ෂණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය හේතුවෙන් මෙම යෝධ පැන්ඩාවන් මේවන විට වඳවෙමින් පවතින සත්වයෙකු ලෙස නොසැලකේ.

මිය ගිය බාසිට අවසන් ගෞරව දැක්වීමේ උත්සවය අද (සැප් 14) චීනයේ ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කරන ලදී.

"පෙරවරු 8.50ට බාසි පැන්ඩා තාරකාව ජීවිතක්ෂයට පත් වූ බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු" යනුවෙන් ෆූජෝ හි පැන්ඩා පර්යේෂණ සහ හුවමාරු මධ්‍යස්ථානය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙයි.

"බාසි චීනයට මෙන්ම ලෝකයට, මිත්‍රත්වයේ සුරදූතිය වුනා" යැයි එහි බලධාරීහු පවසති.