ඉරාකය: ප්‍රහාර දෙකකින් පනහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, nasiriyah.org
තමන් විසින් ප්‍රහාර එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පවසයි
ප්‍රහාර දෙකකට ගොදුරු වී අවම වශයෙන් පුද්ගලයන් පනස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව ඉරාක සෞඛ්‍ය බලධාරීහු පවසති.
දකුණු දිග ඉරාකයේ ධිකාර් පළාතේ ප්‍රධාන නගරය වන නසිරියා ආසන්නයේ ආපන ශාලාවක් තුළ දී මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු සිය බෝම්බය පුපුරවා හැර ඇති අතර තුවක්කුකරුවෙකු එහිදී විවෘත වෙඩි තැබීමක් සිදු කර ඇති බවත් ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන් මද වෙලාවකට පසු ඒ ආසනයේ පිහිටි මුරපොලක් ඉලක්ක කර කාර් බෝම්බයක් පුපුරවා හැර ඇත.
තමන් විසින් එම ප්‍රහාර එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පවසයි.
මරණයට පත් පිරිස අතර ඉරාන ජාතිකයන් ද සිටින බව විශ්වාස කෙරේ.
ඡායාරූප මූලාශ්‍රය, nasiriyah.org
තුවාල ලැබූ ඇතැමුන් බලපතල තත්ත්වයේ පසු වේ
ප්‍රහාරවලට හසුව අසූවකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් වැඩි දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බවය.
අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව ඉරාක හමුදා සමග එක්ව සටන් වැදුණු ෂියා මුස්ලිම් කණ්ඩායමක් වන හෂ්ද් අල්-ෂාබි සාමාජිකයන් ලෙස ප්‍රහාරකයන් පෙනී සිට ඇතැයි එක් වර්තාවක සඳහන් වන බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කරයි.
අයිඑස් කැරලිකරුවන් ඉරාකය සහ සිරියාව යන දෙරටේම යුද පෙරමුණුවල දී පරාජයට පත් වෙමින් සිටින නමුත් පහසුවෙන් ඉලක්ක කළ හැකි ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තවමත් ඔවුන් සතුව පවතින බව බීබීසී මැදපෙරදිග වාර්තාකරු පැවසීය.
සබැඳි යොමු: