උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් විදියි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යළිත් වරක් බැලිස්ටික් මිසයිලයක් විදිනු ලැබීමෙන් අනතුරුව කළාපයේ උණුසුම ඉහළ ගොස් තිබේ.
කිලෝමීටර් 770 ක උන්නතාංශයක් දක්වා ඉහලට පියාසර කළ මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරකින් හොකයිඩෝ දූපත අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියාවේ හමුදාව පවසයි.
උතුරු කොරියාව දියත් කළ අලුත්ම මිසයිලය පසුගිය මාසය අගදී විදිනු ලැබූ මිසයිලයට වඩා ඉහලින් පියාසර කරමින් ඊට වඩා දුරකින් පිහිටි ප්‍රදේශයකට පතිත වී තිබේ.
මීට සති දෙකකට පමණ ඉහතදී උතුරු කොරියාව න්‍යෂ්ඨික බෝම්බයක් ද අත්හදා බැලුවේය.
අලුත්ම මිසයිල අත්හදා බැලීම පිළිබඳව ප්‍රතිචාරය පළ කළ ජපාන අගමැති ශින්සෝ අබේ, එවැනි "භයානක කුපිතකාරී ක්‍රියා කිසිවිටෙකත් නොඉවසන" බව පැවසීය.

විනාඩි කිහිපයක් ඇතුළත බැලිස්ටික් මිසයිල දෙකක් මුහුදට විදිමින් දකුණු කොරියාව ද ඒ පිළිබඳව ක්ෂණික ප්‍රතිචාරයක් පළ කළේය.
උතුරු කොරියාවේ අලුත්ම මිසයිල අත්හදා බැලීම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ ද හෙළා දැකීමට ලක්වූ අතර, ජපානයේ සහ ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිකුරාදා සවස් යාමයේ නිව්යෝක් නුවරදී යළිත් වතාවක් මුණ ගැසීමට නියමිතය.
උතුරු කොරියාව සතු මිසයිල
උතුරු කොරියාව සිය අලුත්ම මිසයිලය දියත් කළේ පියොන්ග්යැන් (Pyongyang) අගනුවර සුනාන් (Sunan) දිස්ත්‍රික්කයේ සිට බව ද දකුණු කොරියාවේ හමුදාව පවසයි.
අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 24 ක් උතුරෙන් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටා තිබෙන්නේ සුනාන් දිස්ත්‍රිකයේය.
පසුගිය අගෝස්තු 29 වෙනි දින දියත් කළ මිසයිලය මෙන්ම සිකුරාදා (සැප්තැම්බර් 15) අලුයම දියත් කළ මිසයිලය ද ජපානයේ හොකයිඩෝ දූපත ඉහලින් පියාසර කොට ශාන්තිකර සාගරයට පතිත විය. එමගින් නෞකාවලට හෝ ගුවන් යානාවලට හානියක් වූයේ දැයි මෙතෙක් වාර්තා ලැබී නැත.

මිසයිලය දියත්වීමත් සමගම කළාපය පුරා සයිරන් නලා හඬ ඇසුණු අතර, වහාම ආරක්ෂිත ස්ථානවලට යන මෙන් ජනතාවට අනතුරු අඟවමින් ජංගම දුරකතනවලට කෙටි පණිවුඩ නිකුත් කෙරිණ.
අලුත්ම මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරක් ගමන් කළ අතර, ශාන්තිකර කලාපයේ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ පියොන්ග්යැන් අගනුවර සිට කිලෝමීටර 3400 ක් පමණ දුරිනි.
ගුවාම් දූපතට මිසයිල ප්‍රහාර එල්ල කරන බවට උතුරු කොරියාව දැනටමත් අනතුරු අඟවා තිබේ.
සැප්තැම්බර් 03 වෙනි දින සිය හය වෙනි න්‍යෂ්ඨික අත්හදා බැලීම දියත් කිරීමෙන් අනතුරුව උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක යළිත් වරක් දැඩි කෙරිණ.
'සම්බාධක උල්ලංඝනය කරලා'
අලුත්ම සම්බාධක පැණවීමට පෙරාතුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ විශේෂඥ කණ්ඩායමක්, සම්බාධක නොතකා කිම් ජොන් අන් පාලනය ලොව පුරා රටවල් ගණනාවක් සමග දිගටම වෙළෙඳ සම්බන්ධතා පවත්වන බව හෙළි කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සම්බාධක නොතකා ශ්‍රී ලංකාව දිගටම උතුරු කොරියාව සමග වෙළෙඳ සම්බන්ධතා පවත්වා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
එම වාර්තාව දක්වන පරිදි, එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව ද උතුරු කොරියාව සමග දිගටම වෙළෙඳ සම්බන්ධතා පවත්වා තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහක් වන ($44,344,912) අතර, ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)
ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාරයක් පළ කොට නැත.

ඡායාරූප මූලාශ්‍රය, EPA
උතුරු කොරියාවේ මිසයිලයට එරෙහිව මිසයිලයක් දියත් කළ දකුණු කොරියාව
උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙලා දකිමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පසුගිය ජුලි මාසයේ නිවේදනයක් නිකුත් කළ නමුත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුව සඳහන් කළේය.