රෝහින්ග්‍යා අර්බුදය: සුචීගේ 'අවසන් අවස්ථාව'

Rohingya stretch their hands to get aid supplies in Cox's Bazar, Bangladesh. Photo: 16 September 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියන්මාරය හැර අසල්වැසි බංග්ලාදේශය වෙත පළා ගොස් ඇති රෝහින්ග්‍යා වැසියන් සංඛ්‍යාව හාර ලක්ෂයකට අධිකය

රෝහින්ග්‍යා වැසියන් ලක්ෂ ගණනකට බංග්ලාදේශය වෙත පළා යාමට බල කෙරුණු හමුදා මෙහෙයුම අවසන් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචීගෙන් නැවතත් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇය දැන්වත් ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළහොත් "ඇතිව තිබෙන ඛේදවාචකය තවත් භයානක විය හැකි" බවය.

හමුදා මෙහෙයුම මගින් "වාර්ගික ශුද්ධයක්" විය හැකි බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් පසුගිය මාසයේ පොලිස් මුරපොලවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් හමුදා මෙහෙයුමක් දියත් කර ඇති බව පවසන මියන්මාරය සාමාන්‍ය වැසියන් එහි ඉලක්ක බවට පත්ව ඇතැයි එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අගෝස්තු 25 වෙනිදා 'අර්සා' විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් රඛයින් ප්‍රාන්තයේ සේවයේ යෙදී සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් 12 දෙනෙකු මරණයට පත් විය.

එක්සත් ජාතීන්ගේ මහා සභා වාරය මේ සතියේ ආරම්භ වීමට නියමිතය.

"ඇය දැන් පවතින තත්ත්වය මේ මොහොතේ ආපසු හැරවුයේ නැති නම්, මම හිතන්නේ මේ ඛේදවාචකය ඇත්තෙන්ම දරුණු වේවි. අවාසනාවකට අනාගතයේ දී මෙම තත්ත්වය ආපසු හරවන විදිහක් ගැන මට පේන්නේ නැහැ" යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් කියා සිටියේය.

රෝහින්ග්‍යා මුස්ලිම් වැසියන්ට යළි මියන්මාරය බලා පැමිණීමට අවසර ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා යළි අවධාරණය කළේය.

මියන්මාරය තුළ හමුදාවට තවමත් වැඩි බලයක් හිමි බව පැහැදිලි බවත් ඔහු කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය,

බීබීසී සමග පසුගිය මාර්තු මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මියන්මාරයේ නිල නොවන නායිකා අවුන් සාන් සුචී රෝහින්ග්‍යා ප්‍රජාවට එරෙහිව වර්ග සංහාරයක් වන බව ප්‍රතික්ෂේප කළාය

හමුදා පාලනය පැවති වකවානුවේ වසර ගණනාවක් නිවාස අඩස්සියේ පසු වූ නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන් සාන් සුචී රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට චෝදනාවට ලක්වේ.

නිව්යෝක් නුවර මීළඟ සතියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ සභා වාරයට ඇය මෙවර සහභාගී නොවනු ඇත.

අවුන් සාන් සුචී පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ 'රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදය සාවද්‍ය තොරුතුරු පැතිර යාම මගින් විකෘති භාවයට පත්ව' ඇති බවය.

ත්‍රස්තවාදීන්ගේ අභිලාෂයන්ට වාසි සහගත වන අයුරින් පතුරුවා හරින ව්‍යාජ පුවත් (Fake News) මගින් රටේ ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයක් අවුළුවාලමින් ඇති බව ඇයගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් විය.