රෝහින්ග්‍යා "අන්තවාදීන්" බල ප්‍රදේශයක් ගොඩ නැගීමේ උත්සාහයක - හමුදාව

මියන්මාර හමුදා ප්‍රධානී ජනරාල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියන්මාර හමුදා ප්‍රධානී ජෙනරාල් මින් අවුන් හ්ලිං

ලක්ෂ ගණනකට බංග්ලාදේශය වෙත පළා යාමට මුල් වූ අර්බුදයට රෝහින්ග්‍යාවරුන් වගකිවයුතු බව මියන්මාරයේ හමුදා ප්‍රධානියා පවසයි.

"රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් කිසි දිනක ජන කොට්ඨාසයක් ලෙස නොසැලකුණු" බව කී ජෙනරාල් මින් අවුන් හ්ලිං රඛයින් ප්‍රාන්තය තුළ බලය තහවුරු කර ගැනීමට අර අදින බවට "අන්තවාදීන්ට" චෝදනා කළේය.

රඛයින් ප්‍රාන්තයේ දියත් කර ඇති මෙහෙයුම් මගින් සාමාන්‍ය වැසියන් ඉලක්ක වී ඇති බවට මියන්මාර හමුදාවට චෝදනා එල්ල වේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාරය රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් සිය පොලිස් මුරපොළවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

උන්හිටිතැන් අහිමි රෝහින්ග්‍යා පවුලක්

මියන්මාරයේ සමස්ත ජනගහනයෙන් සියයට 90% බෞද්ධයන්ය.

රෝහින්ග්‍යාවරුන්ගෙන් බහුතරය මුස්ලිම් භක්තිකයන් වන අතර එම ප්‍රජාවට එරෙහිව දියත් කර ඇති මෙහෙයුම් මගින් "වාර්ගික ශුද්ධයක්" ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

ෆේස්බුක් ඔස්සේ අදහස් පළ කරමින් ජෙනරාල් මින් අවුන් හ්ලිං මියන්මාර මාධ්‍යයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ රෝහින්ග්‍යා "ගැටලුව" සම්බන්ධයෙන් එක්සත් වන ලෙසය.

රෝහින්ග්‍යා කැරලිකරුවන් "අන්තවාදී බංග්ලාදේශ ජාතිකයන්" ලෙස හැඳින්වූ ජෙනරාල්වරයා, ඔවුන් සමග ගැටුම් 93 හටගත් බවත් ඉන් අනතුරුව හමුදා මෙහෙයුම දියත් කළ බවත් සඳහන් කළේය.

එම ප්‍රචණ්ඩත්වය, රඛයින් ප්‍රාන්තය තුළ බලය ගොඩ නගා ගැනීම සඳහා කළ සංවිධානාත්මක උත්සාහයක් බවත් ඔහු පැවසීය.

"රෝහින්ග්‍යාවරුන් වශයෙන් පිළිගැනීමක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. නමුත් ඔවුන් කිසිදාක මියන්මාරයට අයත් ජන කොට්ඨාසයක් ලෙස සැලකුණේ නැහැ. සත්‍ය පෙන්වා දීම සඳහා අප එක්සත් විය යුතුයි" යනුවෙන් ජනරාල්වරයාගේ ෆේස්බුක් පණිවුඩයේ සඳහන් විය.

අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා කැරලිකරුවන් විසින් රඛයින් ප්‍රාන්තයේ පොලිස් මුරපොළවල් වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 12 මරණයට පත් විය.

එතැන් පටන් මියන්මාරය හැර බංග්ලාදේශය බලා පළා යන රෝහින්ග්‍යා සාමාන්‍ය වැසියන් පවසන්නේ තමන් පළවා හැරීමේ අරමුණින් හමුදා සිය ගම්මාන ගිනි බත් කරමින් ප්‍රචණ්ඩකාරී මෙහෙයුමක් දියත් කළ බවය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස් සෙනසුරාදා (සැප් 16) අදහස් දක්වමින් කියා සිටියේ අවුන් සාන් සුචී පසුගිය අඟහරුවාදා ජාතිය අමතමින් කළ කතාව අතරතුර හමුදා මෙහෙයුම්වලට තිත තැබීම සඳහා ඇයට අවස්ථාවක් තිබූ බවය.

"ඇය, දැන් පවතින තත්ත්වය මේ මොහොතේ ආපසු හැරවුයේ නැති නම්, මම හිතන්නේ මේ ඛේදවාචකය ඇත්තෙන්ම දරුණු වේවි. අවාසනාවකට අනාගතයේ දී මෙම තත්ත්වය ආපසු හරවන විදිහක් ගැන මට පේන්නේ නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර නිව්යෝක් නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසි වාරයට අවුන් සාන් සුචී මෙවර සහභාගී නොවනු ඇත.

ඒ බව නිවේදනය කෙරුණේ රෝහින්ග්‍යා වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පියවර ගැනීමට ඇය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබෙන අතරතුරදීය.

'රඛයින් ප්‍රාන්තයේ පවතින අර්බුදය සාවද්‍ය තොරුතුරු පැතිර යාම මගින් විකෘති භාවයට පත්ව' ඇති බව අවුන් සාන් සුචී පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.

ත්‍රස්තවාදීන්ගේ අභිලාෂයන්ට වාසි සහගත වන අයුරින් පතුරුවා හරින ව්‍යාජ පුවත් (Fake News) මගින් රටේ ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම්කාරී තත්ත්වයක් අවුළුවාලමින් ඇති බව ඇයගේ කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් විය.