එර්මාගෙන් පසු 'මරියා' කැරිබියානු දූපත් වනසයි

Image copyright Getty Images
Image caption එර්මාගෙන් පසුව මරියා කරන විනාශය

එර්මා (Irma) විපතින් දවස් කීපයකට පසු කැරිබියානු දූපත් ඔස්සේ හමා යමින් ඇති 'මරියා' (Maria) කුණාටුවත් සමඟ සියලු පණිවුඩ සබඳතා අඩාල වූ ඩොමිනිකා ජනරජයේ ජනතාව මුහුණ දීමට සිදුවිය හැකි විනාශය සම්බන්ධයෙන් භීතියෙන් පසු වෙති.

කුණාටු වර්ග කිරීම් අනුව පස්වෙනි ගණයට ඇතුළත් කරනු ලැබ ඇති 'මරියා' සඳුදා රාත්‍රියේ ඩොමිනිකා දූපතට පහර දුන්නාය.

'මරියා' සිය රට මත මහා විනාශයක් සිදුකළ බව ඩොමිනිකා අගමැති රූස්වෙල්ට් ස්කෙරිට් (Roosevelt Skerrit) පවසයි.

'ඩොමිනිකා' හැත්තෑ දහසකට අධික ජනතාවක් ජීවත් වෙන කැරිබියානු දූපතකි.

එම දූපත අසල පිහිටි 'ගෝඩිලොප්' (Guadeloupe) දූපතේ දස දහස් ගණනක් ජනතාව විදුලිය නැතිව අඳුරේ පසුවෙන අතරවාරයේ බරපතළ ජල ගැල්මකට ද මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත

අඟහරුවාදා උදේ වරුවේ 'මරියා' වර්ජින් දූපත් සහ පුවර්ටෝ රිකෝ දෙසට හමා යමින් තිබුණි.

මහජන ජීවිත අනතුරට පත් කළ හැකි ප්‍රබල කුණාටුවක් සම්බන්ධයෙන් එම දූපත්වලට අනතුරු ඇඟවීම් සිදු කරනු ලැබ ඇත.

Image copyright AFP/getty
Image caption වර්ජින් දූපත් දෙසට හමා යන මරියා කුණාටුව

'මරියා' කුණාටුව තම රටට විශාල විනාශයක් සිදුකළ බව පවසන ඩොමිනිකා අගමැති රූස්වෙල්ට් ස්කෙරිට් (Roosevelt Skerrit) "මිළ දී ගතහැකි හැම වස්තුවක්ම කුණාටුවට බිළි වූ" බව සිය 'ෆේස් බුක්' පණිවුඩයකින් කියා සිටියි.

'මරියා' ඩොමිනිකා දූපත විනාශ කරමින් හමාගියේ එරට වේලාවෙන් රාත්‍රී නවයටයි.

තම නිවසේ වහල සුළඟට ගසාගෙන ගිය බව 'ෆේස් බුක්' පනිවුඩයක සටහන් කළ අගමැතිවරයා 'තමා කුණාටුවේ පැහැදිලි ගොදුරක් බවට පත්ව' ඇතැයි ප්‍රකාශ කර තිබුණි.

"දිගටම වහින වැස්සත් එක්ක ඇති වෙන්න පුළුවන් නායයාම් ආදිය නිසා උදේ වෙනකොට බරපතළ තුවාල වීම්, ඇතැම් විට මරණ පවා අසන්නට ලැබෙයි කියල අපට විශාල බියක් තිබුණා" දිවි බේරුණ අගමැතිවරයා පවසයි.

තම ජනතාවට පිහිට වෙන ලෙස අගමැතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

Image caption 'මරියා' ගමන් මාර්ගය පෙන්නුම් කෙරෙන සිතියමක්

'ගෝඩිලොප්' (Guadeloupe) ප්‍රංශ දූපතේ නිලධාරීන් එහි නිවැසියන්ට 'මරියා' කුණාටුව පිළිබඳව අනතුරු ඇඟවීම් කරමින් තාවකාලික නවාතැන් තුළම සිටින ලෙස දැනුවත් කර ඇත.

'මරියා' කුණාටුව හමා යමින් පවතින්නේ මේ මාසය මුල 'එර්මා' විසින් විනාශ කරන ලද කලාපය ඔස්සේයි.

පැයට කිලෝමීටර් 260 ක වේගයකින් හමා යමින් තිබුණ 'මරියා' කුණාටුව ඩොමිනිකා දූපතට පහර දීමෙන් අනතුරුව එහි වේගය අඩු වුනත් යළිත් එය වේගය වැඩිකර ගනිමින් හමා යන්නට පටන් ගත් බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

ජීවිත විනාශයකට හේතුවිය හැකි නාය යාම් ,ගංවතුර සහ කුණාටු රැලි ඇතිවිය හැකි බවට කැරිබියානු කළාපය අධීක්ෂණය කරන ඇමෙරිකානු ජාතික කුණාටු මධ්‍යස්ථානය පවසයි.