ලොව ධනවත්ම කාන්තාවන් පස්දෙනා කවුද?

  • 2017 සැප්තැම්බර් 23
Image copyright Getty Images
Image caption ඇලිස් වෝල්ටන්

ලොව ධනවත්ම කාන්තාව මිය ගිය බව ඊයේ (සැප්. 21) වාර්තා විය. ඇය ලෝරියාල් සමාගමේ උරුමක්කාරියව සිටි ලිලියාන් බෙටාන්කුවර් (Liliane Bettencourt) ය.

ඇය මිය යනවිට 94 හැවිරිදිය. ඇස්තමේන්තුගත වත්කම ඩොලර් බිලියන 40කි.

ලිලියාන් ගේ වියෝවෙන් පසුව ලොව ධනවත්ම කාන්තාවට හිමි කිරුල පළඳින්නේ කවුද?

ලොව ධනවත්ම ස්ත්‍රිය:

1.ඇලිස් වෝල්ටන් - ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 33.8 කි.

ලොව පුරා සිටින සියලුම ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ 17 වැනි ස්ථානය ඇයට හිමි වී තිබුණි. ඒ ලිලියාන් බෙටාන්කුවර්ට වඩා ස්ථාන තුනක් පහළිනි. නමුත් ලිලියාන් දිවියෙන් සමුගැනීමත් සමඟ 67 හැවිරිදි ඇලිස් වෝල්ටන් ලොව ධනවත්ම කාන්තාව බවට පත්වෙයි.

ඇලිස්, එක්සත් ජනපදයේ සුපිරි වෙළඳ සමාගම් ජාලයක් වන වෝල්මාර්ට් සමාගමේ අයිතිකරු සෑම් වොල්ටන්ගේ එකම දියණිය වන්නීය.

තම සහෝදරයන්ගේ අඩි පාරේ නොගොස් ඇය පවුලේ ව්‍යාපාරයෙන් ඉවත් වී වෙනත් ව්‍යාපාරයක් කෙරෙහි සිත යොමු කළාය.

දැන් ඇය ඇමරිකාවේ 'ක්‍රිස්ටල් බ්‍රිජස්' කෞතුකාගාරයේ සභාපතිනියයි.

Image copyright AFP
Image caption ලෝරියාල් (L'Oreal) විලවුන් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය වූ ලිලියාන් බෙටාන්කුවර්

2.ජැක්ලින් මාර්ස් - ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 27කි.

ලොව විශාලතම රසකැවිලි නිෂ්පාදන සමාගමෙන් තුනෙන් පංගුවක හිමිකාරිය ඇයයි. ඉතිරි දෙපංගුවේ හිමිකාරිත්වය ඇයගේ සහෝදරයන් දෙදෙනාට ය. ඉන් එක් සහෝදරයෙක් පසුගිය වසරේ දිවියෙන් සමුගත්තේය.

ජැක්ලින් මාර්ස් 77 හැවිරිදි වන්නීය. ජැක්ලින් වසර 20ක් තම පවුලේ ව්‍යාපාරය වෙනුවෙන් සේවය කළාය. 2016 වන තුරු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් වුවාය.

3.මරියා ෆ්රාන්කා ෆිසෝලෝ - ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 25.2කි.

ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වූ මිකෙලේ ෆෙරේරේ ගේ වැන්දඹු බිරිඳ යි. ෆෙරේරෝ රෝශේ චොකලට් සමාගමේ අයිතිකරු වුයේ ඔහුය.

නටෙලා, කින්ඩර් සහ ටික්-ටැක් (Nutella, Kinder and Tic-Tacs) නිෂ්පාදනය කරනු ලබන්නේ ද මෙම සමාගම විසිනි.

මරියාගේ පුත් ජියෝවානි දැන් එම සමාගම පාලනය කරයි. මරියා ජීවත් වන්නේ මොනාකෝ රාජ්‍යයේ ය.

4.සුසෑන්නා ක්ලටන් - ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 20.4කි.

Image copyright Getty Images
Image caption සුසෑන්නා ක්ලටන්

55 හැවිරිදි ජර්මානු කතක් වන ඇය මෝටර් රථ සමාගම් සහ ඖෂධ සමාගම් කිහිපයකට උරුමකම් කියන්නීය.

අල්ටානා ඒජී (Altana AG) ඖෂධ සමාගම දෙමාපියන්ගෙන් ඇයට උරුම විය.

BMW මෝටර් රථ සමාගමෙන් 50%ක අයිතිය ද ඇය සහ ඇයගේ සහෝදරයාට අයිතිය. මීට අමතරව තවත් සමාගම් ගණනාවක් සුසෑන්නා මිලදී ගෙන ඇත.

5.ලොරේන් පවෙල් ජොබ්ස් - ශුද්ධ වත්කම: ඩොලර් බිලියන 20කි.

Image copyright Reuters
Image caption ලොරේන් පවෙල් ජොබ්ස්

ඇපල් පරිගණක සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ගේ වැන්දඹු බිරිඳයි.

ඩිස්නි සමාගමෙන් 4%ක අයිතිය හිමි වන්නේ ද 55 හැවිරිදි ලොරේන්ට ය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර