ඇන්ගලා මර්කල් සිව්වෙනි ඡන්දයත් ජය ගනී

  • 2017 සැප්තැම්බර් 24
Image copyright EPA
Image caption හතරවැනි වරටත් ජර්මනිය භාර ගනී.

ජර්මනියේ අද පැවැත්වුන (සැප්තැම්බර් 24) මහ මැතිවරණයෙන් චාන්සලර් ඇන්ගලා මර්කල්(Angela Merkel) මේ වන විටත් ජය ගෙන ඇති බව අලුතින් නිකුත් කොට ඇති ප්‍රතිපල මගින් පෙන්නුම් කෙරෙයි.

එම ප්‍රතිපල අනුව අනුව චාන්සලර්වරියගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නායකත්වය දෙන (CDU/CSU) කොන්සර්වේටිව් සන්ධානය දෙන ලද ඡන්ද වලින් 32.5% ක් ලබා ඇති අතර ජර්මන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත්ව ඇත.

මේ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලබා ඇත්තේ දෙන ලද ඡන්ද වලින් 20% ක් බවත් පැවසෙයි.

මෙම මැතිවරණයේ දී තුන්වෙනි තැන ලබා සිටින්නේ අන්ත දක්ෂිනාංශික මතධාරී AfD ජාතිකවාදී පක්ෂයයි.

එම පක්ෂය දෙන ලද ඡන්ද වලින් 13.5% ක් ලබා ඇත.

අන්ත දක්ෂිනාංශික මතධාරී AFD (Alternative for Germany or AfD) ජාතිකවාදී පක්ෂය ජර්මන් මැතිවරණයක දී 5%කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව ඔවුන්ටද ජර්මන් පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිමි වනු ඇතැයි දේශපාලන අනාවැකි මගින් පැවසෙයි.

Image caption ජර්මන් පාර්ලිමේන්තුව ආසන 630 කින් සමන්විත වෙයි

කෙසේ වුවද, ඉහත කී ප්‍රතිඵල අනුව බලයේ සිටින චාන්සලර් අන්ගෙලා මර්කල් හතරවැනි වතාවටත් ජර්මනියේ පාලන බලය හිමිකර ගනු ඇත.

මෙම මැතිවරණයේ දී චාන්සලර්වරියගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදී බලවේගය වුණේ වාමාංශික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයයි.

ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගනු ලබන්නේ ඡන්දදායක කොට්ඨාශ සහ සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයකිනි.

සමානුපාතික ක්‍රමය යටතේ නියෝජනයක් ලබා ගැනීමට සුදුසුකම් ලබා ගැනීමට නම් ඒ ඒ දේශපාලන පක්ෂ 5% ක ඡන්දයක් ලබා ගත යුතු අතර මෙම මැතිවරණයට තරඟ වදින සුළු පක්ෂ එම අවම ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීම සඳහා දුෂ්කර අරගලයක නිරත වෙමින් සිටින බව ජර්මනියෙන් කලින් ලද වාර්තා මගින් ප්‍රකාශ විය.

දක්ෂිණාංශික ජාතිකවාදී (Alternative for Germany or AfD) පක්ෂය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වුනොත් එමගින් පශ්චාත් යුද ජර්මන් දේශපාලනයේ අනපේක්ෂිත විශාල වෙනසක් සනිටුහන් කෙරෙනු ඇතැයි බර්ලින් අගනුවර සිටින බීබීසී වාර්තාකරු ප්‍රකාශ කර තිබුණි.

ජර්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව චාන්සලර්වරයා හෝ වරිය තෝරා පත් කර ගනු ලබන්නේ අභිනවයෙන් තේරී පත් වූ මෙම පාර්ලිමේන්තුව (Bundestag) මගිනි.

Image copyright Reuters
Image caption මැතිවරණයට පෙර බල අරගලය සංකේතවත් කළ පින්තූරයක්- ඇන්ගෙලා සහ මාර්ටින්

ජර්මන් පාර්ලිමේන්තුව (Bundestag) කේවල ඡන්ද කොට්ඨාශ සහ සමානුපාතික නියෝජන ක්‍රමය අනුව තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරුන් 630 දෙනකුගෙන් යුක්ත වෙයි.

ඔවුන්ගෙන් 299 දෙනෙක් කෙළින්ම මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන අතර සෙසු මන්ත්‍රීවරුන් තෝරා ගන්නේ සමානුපාතික ක්‍රමය යටතේ ඒ ඒ දේශපාලන පක්ෂ මගින් ඉදිරිපත් කරනු ලබන ලැයිස්තු වලිනි.

ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් අනතුරුව මෙතරම් පහළ මට්ටමකට වැටුණ පළමු අවස්ථාව මෙයයි.

ලබා ඇති ප්‍රතිපලය විශාල පරාජයක් බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායක මාර්ටින් ෂුල්ස් (Martin Schulz) පවසයි.

මෙතෙක් කලක් චාන්සලර් ඇන්ගලා මර්කල් ආණ්ඩුවේ පාර්ශ්වකරුවකුව සිටි සමාජ ප්‍රජාතන්ත්‍ර වාදීන් මෙවර විපක්ෂයේ අසුන් ගනු ඇත.

ලබා ඇති ප්‍රතිපල අනුව චාන්සලර්වරියට අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා අලුත් හවුල්කරුවන් සොයා ගැනීමට සිදු වෙන අතර ඒ සඳහා මාස කීපයක් ගත වනු ඇතැයි පැවසෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර