කුර්දිස්තාන් නිදහස තීන්දු කෙරෙන ඓතිහාසික ජනමත විමසුම ආරම්භ වෙයි

  • 2017 සැප්තැම්බර් 25
Image copyright Reuters
Image caption ජනමත විමසුමත් සමඟ සැණකෙළි සිරියක් ගත් ඉරාක් කුර්දි කළාපය

සිය භූමියට නිදහස තීන්දු කිරීම් වස් ඉරාක් කුර්දිස්තාන් ප්‍රාදේශීය පාලනය විසින් කැඳවන ලද ජනමත විචාරණයේ ඡන්දය විමසීම් ඉරාකය ,ඉරානය සහ තුර්කියේ විරෝධය මැද අද (25) ආරම්භ විය.

උතුරු ඉරාකයට අයත් කුර්දිස්තාන් කලාපයේ පළාත් තුනක සහ බැග්ඩෑඩ් ආණ්ඩුව සහ කුර්දි වරුන් අතර අයිතිය සම්බන්ධයෙන් ආරවුලක් පවතින ප්‍රදේශවල එම ජනමත විචාරණය කැඳවනු ලැබ ඇත.

පනස් දෙලක්ෂයක් පමණ වන කුර්දි ජාතිකයන් සහ කුර්දි නොවන ජනයා මේ ජනමත විමසුමේ දී ඡන්දය දීමට සුදුසුකම් ලැබ සිටිති.

මෙම දිනය උදාවෙන තෙක් සිය ජනවර්ගයා වසර සීයක පමණ කාලයක් බලා සිටි බව ජනමත විචාරන ඡන්ද පෝලිමක සිටි කුර්දි ජාතිකයෙක් කියා සිටියේය.

" අපට රාජ්‍යයක් අවශ්‍යයි. අද සියලුම කුර්දි ජාතිකයන්ට උත්සව දවසක්. දෙවියන්ගේ කැමැත්ත අනුව අපි අපේ ආදරණීය කුර්දිස්තානය වෙනුවෙන් "ඔව්" කියල ඡන්දෙ දෙනවා" එම කුර්දි ජාතිකයා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේය.

Image copyright Getty Images
Image caption ඉරාක් කුර්දි නායක මසූඩ් බර්ශානි (Massoud Barzani)

සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇතැම් කුර්දි ජාතිකයන් පැමිණියේ ඊනියා IS ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එරෙහි සටනේ දී මරණයට පත් සිය පවුල්වල සාමාජිකයන්ගේ පිංතූරත් රැගෙනයි.

එහෙත් මේ ජනමත විමසුමත් සමඟ 'කුර්දි අර්බුදය යළිත් ඇවිල යාමට ඉඩකඩ ඇති බවට බිය සැකත් පළ වෙමින් පවතී.

Image copyright Reuters
Image caption ජනමත විමසුමත් සමඟ සැණකෙළි සිරියක් ගත් ඉරාක් කුර්දි කළාපය

මෙම ජනමත විමසුම සම්බන්ධයෙන් කෝපයෙන් යුක්තව විරෝධය පළ කරන ඉරාකය, ඉර්බිල් (Irbil) නගරයේ ක්‍රියාත්මක වෙන 'කුර්දි' ප්‍රාදේශීය පාලනයෙන් ඛනිජ තෙල් මිලට නොගන්නා මෙන් විදේශ රටවලින් ඉල්ලීමක් කරයි.

ඉරාක් අගමැතිවරයා මෙම ජනමත විමසුම විග්‍රහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාමාර්ගයක් හැටියටයි.

මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් ලෙසත් ඉරාක් අගමැතිවරයා විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.

එසේම කුර්දි කලාපයේ පිහිටුවන ලද ජාත්‍යන්තර දේශසීමා පාලනය යළිත් තමන්ට භාර දෙන ලෙසත් ඉරාකය ඉල්ලීමක් කර ඇත.

ඉරාකය පමණක් නොව කුර්දි සුළු ජාතිකයන් වාසය කරන තුර්කිය සහ ඉරානයත් ඉහත කී ජනමත විමසුමට විරෝධය පළ කරති.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය වලංගු එකක් නොවන බව කියා සිටින 'අන්කාරා' පාලනය කුර්දි කලාපය තුළ වාසය කරන තුර්කි ජාතිකයන්ට ඉන් ඉවත්වෙන මෙන් උපදෙස් දී ඇත.

Image copyright AFP
Image caption "අවුරුදු සීයක සිහිනයක්"

මේ අතර ප්‍රකාශයක් කරන ඉරාක් කුර්දි නායක මසූඩ් බර්ශානි (Massoud Barzani) මෙම ජනමත විමසුම මගින් දේශසීමා සලකුණු කිරීමක් සිදු නොකෙරෙන අතර ජනමත විමසුමේ ප්‍රතිපලයෙන් පසු ඒ පිළිබඳව බැග්ඩෑඩ් බලධාරීන් සමඟ සාකච්ඡා කළ හැකියයි සඳහන් කළේය.

එසේම නිදහස සඳහා මහජන අනුමැතිය ලැබුණොත් ඉරාකයෙන් වෙන්වීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ හැකි බවත් කුර්දි ජන නායකයෝ පවසති.

කුර්දි වර්ගයා සංඛ්‍යාව අතින් මැද පෙරදිග හතරවැනි තැන හිමිකර ගන්නා ජන කොටසයි.

එහෙත් එම ජනයාට ඔවුන්ගේම නිත්‍ය ජාතික රාජ්‍යයක් නොමැත.

Image caption ඉරාක් කුර්දි කලාපය පෙන්නම් කෙරෙන සිතියමක්

ඉරාකයේ තුන්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන ජනගහනයෙන් 15%ත් 20% ත් අතර ප්‍රමාණයක් කුර්දි ජාතිකයෝ වෙති.

Image copyright Reuters
Image caption IS සංවිධානයට එරහිව ඇමෙරිකානු හමුදා සමඟ සටන් වදින කුර්දි සටන්කරුවන්

1991 දී ප්‍රාදේශීය ස්වයංපාලන බලතල පැවරීමට පෙර ඉරාක් කුර්දි ජාතිය දශක ගණනාවක් තිස්සේ දැඩි මර්දනයකට ගොදුරු විය.