අබේ හදිසියේ මැතිවරණයක් කැඳවයි

  • 2017 සැප්තැම්බර් 25
Image copyright Reuters
Image caption අගමැති ශින්සෝ අබේ මෙම මැතිවරණය කැඳවන්නේ තමන්ට ලැබී ඇති ජන වරම අනුව තවත් වසරක් බලයේ සිටීමට අවසරය තිබියදී ය

ජපානයේ අගමැති ශින්සෝ අබේ හදිසි මැතිවරණයක් කැඳවා ඇති අතර ලබන බ්‍රහස්පතින්දා (සැප්. 28) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතය.

මේ අතරතුර ජාතික අධ්‍යාපනය නගා සිටුවීමටත් අයවැය පරතරය අඩු කිරීම සහ සමාජ සුබසාධනය ඉහළ නැංවීමටත් ඩොලර් බිලියන 1.78ක් (යෙන් ට්‍රිලියන 2ක්) ලබා දෙන බව අගමැතිවරයා නිවේදනය කළේය.

මිත්‍ර සංග්‍රහයේ යෙදුණු බවට චෝදනා එල්ල වීම සහ විරුද්ධ පක්ෂ සමඟ බොහෝ මතභේද ඇති වීමත් සමඟ අගමැති අබේ ගේ ජනප්‍රියත්වය පසුගිය ගිම්හාන කාලයේ දී පහළ වැටී තිබුණි.

තවත් වසරක් තිබියදී

නමුත් උතුරු කොරියානු අර්බුදය හිස එසැවීමත් සමඟ තමන්ට ඇති ජන සහයෝගය වැඩිවෙන්නට පටන් ගෙන ඇති අතර, ජපන් අගමැතිවරයා හදිසි මැතිවරණයකට යාමට තීරණය කර තිබේ.

ඔහු මෙම මැතිවරණය කැඳවන්නේ තමන්ට ලැබී ඇති ජන වරම අනුව තවත් වසරක් බලයේ සිටීමට අවසරය තිබියදී ය.

Image copyright EPA
Image caption තමා මිත්‍ර සංග්‍රහයේ යෙදුණු බවට එල්ල වන චෝදනා අගමැති අබේ ප්‍රතික්ෂේප කරයි

ජපන් අගමැතිවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ අනාගතයට මුහුණ දීම සඳහා ජාතික අධ්‍යාපනය සහ සමාජ සුබසාධනය නංවාලිය යුතු බවය.

කෙසේ නමුත් අයවැය පරතරය අවම කර ගැනීම සඳහා මෑතකදී හඳුන්වාදුන් වෙළඳ බදු ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බව ඔහු කියා සිටියේය.

හදිසි මැතිවරණයකට යන්නේ ඇයි?

විරුද්ධ පක්ෂය දුර්වලව පවතින අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් තමනට වැඩි ජන සහයෝගයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම මැතිවරණය කැඳවා ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

ඇතැම් අපචාර චෝදනා සහ ජනතා අකමැත්තට බඳුන් වූ ප්‍රතිපත්ති හේතුකොට ගෙන පසුගිය මාස කිහිපය ඇතුළත අගමැති ශින්සෝ අබේ ගේ ජනප්‍රියත්වය පහළ වැටුණි.

ඇගයීම් දර්ශකවලට අනුව පසුගිය ජූලි මාසයේ දී ඔහු ගේ ජනප්‍රියත්වය 30%කට වඩා අඩු මට්ටමකට පහළ වැටුණු අතර සැප්තැම්බර් මාසය වනවිට නැවතත් 50% දක්වා ඉහළ මට්ටමකට පැමිණ තිබේ.

තමා මිත්‍ර සංග්‍රහයේ යෙදුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අගමැති අබේ කියා කිටියේ මෙම මැතිවරණය කැඳවීමට තීරණය කළේ තමන්ට පවතින චෝදනා යට ගැසීමේ අරමුණින් නොවන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර