Bye Bye Postcard: අවසන් වරට තැපැල් පතක් තැපැල් කළේ කවදාද?

Image copyright FRANCESCA HARRISON

ඔබ අවසන් වරට තැපැල් පතක් තැපැල් කළේ කවදාද?

බොහෝ විට එය වසර ගණනකට පෙර විය හැකිය.

එය තැපැල් කළේ කාට දැයි ඔබට මතකද? කුමන නගරයක සිට දැයි මතකද?

ඇතැම් විට ඒ සියල්ල දැන් ඔබේ මතකයෙන් ගිලිහී ගොස් තිබෙනවා විය හැකිය.

විශේෂයෙන්ම දුර, බැහැර හෝ විදේශ චාරිකාවක යෙදුන අවස්ථාවක එහි සිට සිය සමීපයන්ට පින්තූර තැපැල් පතක් යැවීම කළෙක බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ ද සිරිතක්ව පැවතින.

එහෙත් නව තාක්ෂණයේ ආගමනයත් සමග තැපැල් පත අභාවයට යමින් පවතී.

Image copyright SARAH WATSON

1880 සිට තැපැල් පත් සහ දින දර්ශන ප්‍රකාශයට පත්කරන සමාගමක් පවසන පරිදි ඊමේල්, ජංගම දුරකථන සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවල "ආක්‍රමණය" හේතුවෙන් දැන් බොහෝ දෙනා පින්තූර තැපැල් පත් මිලදී නොගනිති.

එබැවින් මේ වසර අවසානයේ සිය ප්‍රකාශන සමාගම වසා දමන බව ජේ සැමන් (J Salmon) සමාගම පවසයි.

එය, බ්‍රිතාන්‍යයේ පැරණිම තැපැල් පත් ප්‍රකාශන සමාගමය.

කුඩා පරිමාණයේ පරිගණකයක් වැනි ස්මාට් ජංගම දුරකථන සාම්ප්‍රදායික කැමරාව අතීතයට එක් කළ ආකාරයටම, දුරකථනයේ කැමරාවට හසු වන මනස්කාන්ත දර්ශන ට්විටර්, ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ඔස්සේ ඒ මොහොතේම ලොව පුරා ඕනෑම තැනම වෙසෙන සිය ඥාතීන් සහ හිත මිතුරන් සමග බෙදා ගැනීමට හැකියාව ලැබීම නිසා තවදුරටත් තැපැල් පතක් තැපැල් කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී.

සබැඳි යොමු:

එක පවුලකට අයත් ජේ සැමන් සමාගම වර්තමානයේ පාලනය කරනු ලබන්නේ පවුලේ පස් වෙනි පරපුරේ සාමාජිකයන් වන චාල්ස් සැමන් සහ හැරී සැමන් විසිනි.

Image copyright MARI FLEMING

සමාජ මාධ්‍ය ජාල ඉතා ජනප්‍රිය වීම මෙන්ම අතීතයේ දීට වඩා බොහෝ දෙනා ඉතා කෙටි නිවාඩු ගත කිරීමත් තැපැල් පත්වලට ඉල්ලුම බිඳ වැටීමට තවත් ප්‍රධාන හේතුවක් බව ඔවුහු පවසති.

එහි ප්‍රතිඵලයක් ලෙසින් කෙටි නිවාඩුව අවසානයේ ඔවුන් යළි සිය නිවෙස් බලා පැමිණෙන විටත් තැපැල් පත ලඟා වී නැත.

මේ තත්වය යටතේ තැපැල් පත් මුද්‍රණය කිරීම තවදුරටත් ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් නොවන බව සැමන් දෙසොහොයුරෝ පෙන්වා දෙති.

උදාහරණයක් ලෙස මීට වසර 25 කට ඉහතදී වසරකට තැපැල් පත් කෝටි දෙකක් අළෙවි කෙරුණත්, ඉන් අනතුරුව එය වසරකට ලක්ෂ 50 ක් දක්වා පහළ වැටී තිබේ.

එබැවින් සිය ප්‍රකාශන ව්‍යාපාරයෙන් ඉවත්වන බව ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන සොහොයුරන් දෙදෙනා සිය සැපයුම්කරුවන්ට සහ සිය නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳසැල් වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

තැපැල් පත් සඳහා ඉල්ලුම බිඳ වැටීම මෙන්ම සිය ව්‍යාපාරයට සම්බන්ධවීමට පවුලේ වෙනත් කිසිවෙකුගේ උනන්දුවක් නොමැතිවීම ප්‍රකාශන සමාගම වසා දැමීමට තවත් හේතුවක් බව ද ඔවුහු පවසති.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ජනාධිපතිට පෝස්ට්කාඩ්

ඔබ තවමත් තැපැල් පත් යවනවාද? අවසන් වරට තැපැල් පතක් යැවුවේ හෝ ලැබුනේ කවදා දැයි ඔබට මතකද? තැපැල් පත් පිළිබඳ ඔබේ මතකය අප වෙත යොමු කරන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න