පලස්තීන තුවක්කුකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාරයක්

Image copyright EPA
Image caption ඊශ්‍රායල් පොලිසිය කියා සිටියේ තුවක්කුකරු ආරක්ෂක අංශ නිලධාරීන් ගේ සැකයට භාජනය වීමෙන් අනතුරුව ඔහු විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවය

පලස්තීන තුවක්කුකරුවෙකු විසින් ඊශ්‍රායල් ජාතිකයන් තිදෙනෙකු වෙඩි තබා මරා දමනු ලැබ ඇතැයි ඊශ්‍රායල් පොලිසිය පවසයි.

පොලිසිය පවසන පරිදි මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ බටහිර තීරයේ ඉදිකර ඇති යුදෙව් ජනාවාසයක පිවිසුම් දොරටුවක් ඉදිරිපිටදී ය.

මෙම වෙඩි තැබීම සිදුවීමෙන් අනතුරුව තුවක්කුකරුට ද වෙඩි තබා මරා දමා ඇත. ඔහු අසල ගම්මානයක පදිංචිව සිටි 37 හැවිරිදි පලස්තීන ජාතිකයෙකි.

පලස්තීනයේ උසිගැන්වීම් හේතුවෙන් මෙම ප්‍රහාරය සිදු වී ඇති බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කළේය.

මෙම ප්‍රහාරය සිදුවූයේ ඊශ්‍රායල් - පලස්තීන සාම සාකච්ඡා යළි ප්‍රාණවත් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝජිත ජොන්සන් ග්‍රීන්බ්ලට් ජෙරුසෙලමට පැමිණ සිටියදී ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින විරසකය තුනී කිරීම සඳහා ධවල මන්දිරය පදනම සකස් කරමින් සිටි නමුත් මේ දක්වා ඉන් ලත් ප්‍රගතියක් දක්නට නැත.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවති සාම සාකච්ඡා බිඳ වැටුණේ 2014 අප්‍රේල් මාසයේදී ය.

Image copyright EPA
Image caption වෙඩි තැබීම සිදු වී ඇත්තේ බටහිර තීරයේ ඉදිකර ඇති යුදෙව් ජනාවාසයක පිවිසුම් දොරටුවක් ඉදිරිපිටදී ය

ඉහත කී වෙඩි තැබීම පිළිබඳව වැඩි විස්තර සපයමින් ඊශ්‍රායල් පොලිසිය කියා සිටියේ තුවක්කුකරු ආරක්ෂක අංශ නිලධාරීන් ගේ සැකයට භාජනය වීමෙන් අනතුරුව ඔහු විසින් ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවය.

ඔහු අවට සිටි පිරිසට සහ ආරක්ෂක භටයන්ට වෙඩි තැබීමට පටන් ගෙන ඇති අතර ආරක්ෂක භටයන් විසින් තුවක්කුකරුට වෙඩි තබා මරා දමනු ලැබ ඇත.

ඒ වනවිට තුවක්කුකරුගේ වෙඩි පහරට ගොදුරු වී තිදෙනෙකු මරණයට පත්වී සිටි බවත් ආරක්ෂක භටයන් තිදෙනෙකුට තුවාල සිදුවී තිබුණු බවත් පොලිසිය ප්‍රකාශ කළේය. ඊට අමතරව තවත් පුද්ගලයෙකු බරපතළ ලෙස තුවාල ලබා සිටින බවද පොලිසිය තහවුරු කළේය.

තුවක්කුකරු සිව් දරු පියෙකි. ඔහු බටහිර තීරයේ සීමාව අද්දර යුදෙව් ජනාවාස තනා ඇති ප්‍රදේශයේ රැකියාවක් කළ පුද්ගලයෙකු බව ඊශ්‍රායල් අභ්‍යන්තර ආරක්ෂක මණ්ඩලය පවසයි.

මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු භාරගෙන නැත. කෙසේ නමුත් ගාසා තීරයේ ක්‍රියාත්මක වන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් පලස්තීන සටන් කණ්ඩායම් මෙම ප්‍රහාරය පිළිබඳව සිය සතුට පළකර තිබේ.

මේ පිළිබඳව පලස්තීනයේ ෆටා සංවිධානය කියා සිටියේ පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය දිගින් දිගටම ගෙනයන මර්දනය හේතුවෙන් මෙවැනි ප්‍රහාර සිදුවන බැවින් එහි වගකීම ඊශ්‍රායලය විසින් ම භාර ගත යුතු බවය.

ප්‍රහාරකයා ජීවත් වූ නිවස බිමට සමතලා කොට ඔහුගේ ඥාතීන්ගේ රැකියා බලපත්‍ර අහෝසි කළ යුතු බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ප්‍රහාරය සම්පුර්ණයෙන් ම හෙළා දකින ලෙස පලස්තීන නායක මහමුද් අබ්බාස් ගෙන් ඔහු ඉල්ලා සිටී.

Image copyright ISRAELI POLICE
Image caption ප්‍රහාරයට යොදාගත් පිස්තෝලය

පලස්තීනුවන් 36000ක් පමණ යුදෙව් ජනාවාස තුළ රැකියාවන්හි නිරත වෙති. මෙම යුදෙව් ජනාවාස තුළ දැඩි ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක වෙයි.

දිගින් දිගටම ඉදිවෙමින් පවතින යුදෙව් ජනාවාස, දෙරට අතර සාමයට ප්‍රධාන බාධාවක් වී ඇති බව පලස්තීනුවෝ සලකති.

ඊශ්‍රායලය විසින් බටහිර තීරය සහ නැගෙනහිර ජෙරුසලම අල්ලා ගනු ලැබුවේ 1967 දී ය.

එදා මෙදා තුර එම කලාපය තුළ ඉදිවී ඇති යුදෙව් ජනාවාස ප්‍රමාණය 140ක් පමණ වේ. යුදෙව්වන් 600,000ක් පමණ එම ජනාවාසවල ජීවත් වෙති.

මෙම ඉදිකිරීම් ජාත්‍යන්තර නීතියට පටහැණි වුවත් ඊශ්‍රායලය එය පිළිනොගනී.

2015 අග භාගයෙන් පසුව මෙම ප්‍රදේශ තුළ පිහි ඇනුම්, වෙඩි තැබීම් සහ වාහනවලින් මිනිසුන් යටකරගෙන යාම් නිතර වාර්තා විය.

එම කාලය තුළ ඊශ්‍රායලයේ සහ ඊශ්‍රායලය විසින් අල්ල ගනු ලැබූ පෙදෙස්වල සිදුවූ එවැනි ප්‍රහාරවලින් මිය ගිය ඊශ්‍රායල් ජාතිකයන්ගේ සහ විදේශිකයන්ගේ ගණන 50 ඉක්මවයි.

පලස්තීනුවන් ද 300ක් පමණ එම කාලය තුළ මරා දමා ඇති බව AFP පුවත් සේවය පවසයි. ඊශ්‍රායලය පවසන්නේ මරා දමන ලද පලස්තීනුවන් "ප්‍රහාරකයන්" බවය.

ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් තවත් පිරිසක් මියගොස් තිබේ.

පලස්තීනයෙන් කෙරෙන උසිගැන්වීම් හේතුවෙන් මෙම ප්‍රහාරයන් සිදුවන බවට ඊශ්‍රායලය චෝදනා කරයි. නමුත් පලස්තීන නායකයා කියා සිටින්නේ දශක ගණනාවක් තිස්සේ සිදු කෙරෙමින් පවතින භූමිය අත්පත්කර ගැනීම් සහ ඒවාහි යුදෙව් ජනාවාස තැනීම මෙම තත්වය උද්ගත වීමට හේතුව බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර