උතුරු කොරියාව සහ දකුණු කොරියාව: මෙන්න වෙනස

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය

අගනුවර: ප්යොංයැං

  • ජනගහනය කෝටි 2.5 (මූලාශ්‍ර:එක්සත් ජාතීන්)

  • ප්‍රධාන භාෂාව කොරියන්

  • ප්‍රධාන ආගම් අනාගමික හෝ ආගමක් නොමැති, සම්ප්‍රදායික විශ්වාසයන්

  • ආයු අපේක්ෂාව කාන්තාවන් අවුරුදු 72, පුරුෂයින් අවුරුදු 66

  • මුදල් ඒකකය වොන්

Getty

උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තර්ජන හා ගර්ජන හුවමාරු වෙමින් පවතිද්දී සෙසු ලෝකයාගෙන් හුදකලා වූ කිම් ජොං අන්ගේ දැඩි පාලනයට නතුව පවතින උතුරු කොරියාවේ ජනතාවට දෙරට අතර සිදුවන වාග් සංග්‍රාමය දැනෙනු ඇත්තේ කෙසේද?

උතුරු කොරියාව පිළිබඳ බොහෝ විට මනසේ චිත්‍රනය වන්නේ හුදකලා මෙන්ම තවමත් විසි එක් වෙනි ශතවර්ෂයට පියවර නොතැබූ රාජ්‍යයක් ලෙසිනි.

එහි ජන ජීවිතය හා සම්බන්ධ සංඛ්‍යා ලේඛන ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වන අතර ඒ පිළිබඳ බොහෝ විට වාර්තා පළ වන්නේ ඇස්තමේන්තු මත පදනම්වය.

එවැනි වාර්තා මගින් උතුරු කොරියාවේ ජන ජීවිතය පිළිබඳ දැන ගත හැක්කේ මොනවාද?

දෙවෙනි ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග උතුරු කොරියාව බිහි විය.

අඩ සියවසකට ආසන්න කාලයක් උතුරු කොරියාවේ දේශපාලන සබඳතා හැඩ ගැන්වූ එරට නිර්මාතෘ කිම් ඉල් සුංට උතුරු කොරියාවේ ඉතිහාසය තුළ වැඩි ඉඩක් හිමිවේ.

ඔහුගෙන් පසු පියාගෙන් පුතුට බලය මාරු වෙමින් රට පාලනය කරනු ලැබුවේ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින්ය.

එම කාලය තුළ සිය අසල්වැසි දකුණු කොරියාව ජනරජ හයක්, විප්ලවයක්, කුමන්ත්‍රණ කිහිපයක් සහ නිදහස් සහ සාධාරණ මැතිවරණ ක්‍රමවේදයක් දක්වා වූ ගමනක් පැමිණ ඇත.

1948 පසු දකුණු කොරියාව තුළ ජනාධිපතිවරුන් 12 දෙනෙකු බිහි වී ඇති අතර ඔවුන් විසින් ධුරය හොබවනු ලැබූ වාර ගණන 19කි.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව: මෙන්න වෙනස

ජංගම දුරකතන ග්‍රාහකයන් තිස් ලක්ෂයක් යනු බැලූ බැල්මට විශාල සංඛ්‍යාවකි.

නමුත් එම සංඛ්‍යාවට අනුව දෙකෝටි පනස් ලක්ෂයක ජනගහනයක් වෙසෙන උතුරු කොරියාවේ ජංගම දුරකතනයක් හිමිව ඇත්තේ පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.

ජංගම දුරකතන හිමියන්ගෙන් වැඩි දෙනෙකු ප්යොංයැං අගනුවර වෙසෙන ආකාරයක් පෙනෙන්නට තිබේ.

ඒ හා සැසඳීමේ දී ජනගහනය පන් කෝටි දස ලක්ෂයක් වන දකුණු කොරියාව තුළ ජංගම දුරකතන භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව ජනගහනයට වඩා වැඩි සංඛ්‍යාවකි.

'කොර්යෝ ලින්ක්' නමැති එක් ජංගම දුරකතන ජාලයක් පමණක් හිමි වුවත් උතුරු කොරියාවේ ජංගම දුරකතන වෙළෙඳපොල වර්ධනය වෙමින් පවතී.

'ඔරස්කොම්' නමැති ඊජිප්තු දුරකතන සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙස 'කොර්යෝ ලින්ක්' මුලින් ආරම්භ වූ අතර වසර ගණනාවක් යන තුරු එය එකම මාර්ගය විය.

කෙසේ නමුත් උතුරු කොරියාව 'බ්යොල්' නමැති තරගකාරී ජංගම දුරකතන ආයතනයක් ආරම්භ කිරීමට යන බව 2015 වසරේ දී 'ඔරස්කොම්' සමාගමට දැන ගැනීමට ලැබුණු අතර ලක්ෂ තිහකට අධික සිය සේවාදායකයන් තමන් වෙතින් ගිලිහුණු බව සිය ආයෝජකයන් වෙත හෙළි කිරීමට එම සමාගමට බල කෙරිණි.

දකුණු කොරියානු පුරුෂයන්ට වඩා උතුරු කොරියානු පුරුෂයන් උසින් අඩු බව ඇතැම් අධ්‍යයන මගින් පෙනෙන්නට තිබේ.

සෝල් අගනුවර පිහිටි 'Sungkyunkwan' විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩැනියල් ශ්වීකන්ඩීක් උතුරු කොරියාවේ සිට දේශ සීමා හරහා දකුණු කොරියාවට පැමිණෙන සරණාගතයන්ගේ උස පිළිබඳ අධ්‍යයනය කර තිබේ.

උතුරු කොරියානු පුරුෂයන් දකුණු කොරියානු පුරුෂයන්ට වඩා දළ වශයෙන් සෙන්ටිමීටර 3-8 (අඟල් 1.2 - 3.1) අතර ප්‍රමාණයක් උසින් අඩු බව එහිදී සොයා ගැනිණි.

දෙරටේ වැසියන් එකම ජන කොට්ඨාසයකට අයත් වන බැවින් උස වෙනස් වීමට ඔවුන්ගේ ජාන හේතු වී නොමැති බව මහාචාර්ය ඩැනියල් ශ්වීකන්ඩීක් පෙන්වා දෙයි.

සරණාගතයන් වඩාත් දිළිඳුභාවයට පත් වූවන් වන බැවින් ඔවුන් උසින් අඩු වී ඇති බවට පළ වන අදහස් ඔහු ප්‍රතික්ෂේප කරයි.

අඩු පෝෂණය නිසා සරණාගතයින් උසින් අඩු බවට පළවන මතය ද මහාචාර්යවරයා ප්‍රතික්ෂේප කරයි.

උතුරු කොරියානුවන් උසින් අඩුවීම කෙරෙහි ආහාර හිඟතාව බලපෑ ඇති බවට විශ්වාස කෙරිණි.

උතුරු කොරියාවේ ප්යොංයැං අගනුවර ඡායාරූප තුළ බොහෝ විට රථවාහන තදබදයෙන් තොර දිගු, පුළුල් සහ පිරිසිදු අධිවේගී මාර්ගවල දර්ශන දැකිය හැකි නමුත් නගරයෙන් පිටත ඇත්තේ වෙනස් තත්ත්වයකි.

2006 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව උතුරු කොරියාව තුළ පිහිටි මාර්ගවල දුර ප්‍රමාණය කිලෝමීටර 25,554 කි.

නමුත් එම මාර්ගවලින් ගල් අතුරා ඇත්තේ 3% ක පමණි. එනම් කිලෝමීටර 724 පමණි.

Image copyright Getty Images
Image caption උතුරු කොරියාවේ බස් නැවතුම් අසළ දිගු පෝලිම්

එමෙන්ම සෑම උතුරු කොරියානුවන් 1000 න් එක් අයෙකුට පමණක් මෝටර් රථයක් හිමි බව ඇස්තමේන්තු කර තිබේ.

එයද බස් නැවතුම් අසළ දීර්ඝ පෝලිම් ඇති වීමට හේතු වුවක් විය හැකිය.

උතුරු කොරියාව විසින් සිය ආර්ථිකය රඳා පවත්වා ගනු ලබන්නේ ගල් අඟුරු අපනයනය මගිනි. නමුත් ගල් අඟුරු මිල දී ගන්නා රටවලින් පමණක් දත්ත ලැබෙන බැවින් අපනයනය කෙරෙන ප්‍රමාණය කොපමණ දැයි නිශ්චිතව කිව නොහැක.

උතුරු කොරියාවේ ගල් අඟුරුවලින් වැඩි කොටසක් චීනයට අපනයනය කෙරෙන අතර 2017 පෙබරවාරි මාසයේ දී ගල් අඟුරු මිල දී ගැනීම අත්හිටුවීමට චීනය කටයුතු කළේය.

නමුත් එලෙස පනවන ලද තහංචිවල ස්වභාවය ඇතැම් විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති.

1973 දක්වා උතුරු කොරියාව සහ දකුණු කොරියාව වත්කම් අතින් බොහෝ සෙයින් සමාන විය.

ඉන් අනතුරුව දකුණු කොරියාව කාර්මික නිෂ්පාදන අතින් ලොව ප්‍රමුඛ රටවල් අතරට එක් වී තිබේ.

දකුණු කොරියාවේ සැම්සුන් (Samsung) සහ හ්යුන්දේ (Hyundai) වැනි සමාගම් ඊට නිදසුන්ය.

සියලු ක්ෂේත්‍ර රාජ්‍ය පාලනයට නතු වූ උතුරු කොරියාව අසූව දශකයේ සිට එක තැන නතර වූ ආකාරයක් දක්නට ඇත.

ජනගහනය විශාලතම රටවල් අතරින් උතුරු කොරියාව 52 ස්ථානයේ පසු වේ.

ලොව විශාලතම හමුදා භට පිරිසක් අයත් රටවල් අතර උතුරු කොරියාව සිව් වෙනි ස්ථානයේ පසුවන බව සැලකේ.

එරට දල දේශීය නිෂ්පාදනයෙන් 25% යුදමය කටයුතු සඳහා වෙන් කරනු ලබන බව ඇස්තමේන්තු කෙරේ.

එමෙන්ම සෑම උතුරු කොරියානු පුරුෂයෙකු පාහේම යම් කිසි ආකාරයේ හමුදා පුහුණුවක් ලැබිය යුතුය.

90 දශකයේ අග භාගයේ ඇති වූ සාගත රැල්ල හමුවේ උතුරු කොරියාවේ ආයු අපේක්ෂාව තියුණු පහළ බැසීමකට ලක් විය.

ඒ නොවුනද උතුරු කොරියාවේ ආයු අපේක්ෂාව, දකුණු කොරියාවට වඩා වසර 12 අඩුය.

උතුරු කොරියාව තුළ ආහාර හිඟය තදින් පවතින අතර දකුණු කොරියනුවෙන් ඔවුන්ට වඩා වැඩි කලක් ජීවත් වීමට එය ද බලපා ඇත.

දරුවන් බිහි කිරීම අතින් උතුරු කොරියාව පෙරමුණේ සිටී.

2017 වසරේ දී දකුණු කොරියාවේ උපත් වර්ධන වේගය වාර්තා ගත මට්ටමිකින් පහළ වැටිණි.

අඹු සැමියන්ට වැඩි වශයෙන් දරුවන් බිහි කිරීමට දිරිමත් කරමින් පසුගිය දශකය තුළ දකුණු කොරියානු රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන හැත්තෑවක ව්‍යාපෘතියක් ද දියත් කර තිබිණි.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර